spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙබ් නියාමනයට වැඩපිළිවෙලක්-කෙහෙළිය!ආචාරධර්ම මත පදනම් වු වෙබ් මාධ්‍ය කලාවක් ඇතිකළ යුතුයි !-PWJA

Must read

keheliya( 8.00 am ) වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී අද (21) එක් වෙමින් ප්‍රකාශ කර සිටී.

සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා මෙහිදී පැවසීය.

සමාජ මාධ්‍යවලට සිංගප්පූරු පනත – ජී.එල්.

එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් සම්මත වූ බවත්, එය ද අධ්‍යයනය කර නව වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරිස් මහතා අදහස් දක්වමින් මෙහිදි කීය.

පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා උපදේශක කාරක සභාවේ දී අවධාරණය කළේය.

ජනමාධ්‍ය මඟින් සමස්ත පුරවැසි අයිතීන් ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම පැවසීය.

අසාධාරණ මඩගැසීම් පාලනය කළ යුතු බවත්, ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ටීවී – රේඩියෝ වලටත් නියාමනයක් – චරිත හේරත්

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසුවේ පුවත් පත් මණ්ඩල පනතට එක් කරන සංශෝධන පිළිබඳව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකච්ජා කිරීම මඟින් එම කටයුතු පහසු වන බවයි.

රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය නියාමනයට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවද ඔහු සඳහන් කර සිටියේය.

අදාළ සංශෝධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව වයවස්ථා කෙටුම්පත් කමිටුවට යොමු කිරීම ඉතා පහසුවන බව මෙහිදි අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා ප්‍රකාශ කර සිටි අතර පනතක් එවැනි තාක්ෂණීක කමිටුවකට යොමු කිරීම ඉතා වැදගත් බව ද මහාචාර්‍යවරයා කීය.

සිවිල් පුරවැසියන්ට මාධ්‍ය කරන හානිය සුවිශාලයි – මනූෂ

ජනමාධ්‍ය ආයතන වලට ස්වයං නියාමන ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව 2015 වසරේදී සාකච්ජා වූ බවත්, එම වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මෙහි දී කියා සිටියේය.

සිවිල් පුරවැසියන්ට මාධ්‍ය මඟින් සිදු කරන හානිය සුවිශාල බව ද ඔහු පැවසීය

එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අයි නාලිකාව මඟින් පාර්ලිමේන්තු සභාවාර විකාශය කිරීම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ජා විය.

ජනමාධ්‍යයට සම්බන්ධ පාර්ශව වෘත්තීයවේදීන් ලෙස පිළිගැනීම, ජනමාධ්‍යවේදීන් සඳහා අවම වැටුප් ක්‍රමයක් සැකසීම, ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරින් ඊට අදාළ රැකියා සඳහා යොමු කිරීම, ජනමාධ්‍ය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පාසල් සඳහා පත් කිරීම වැනි කාරණා පිළිබදව ද කාරක සභාවේ අවධානය යොමු විය.

රාජ්‍ය නාලිකාවල ප්‍රමිතිය ඇති කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කාරක සභාවේ අවධානය යොමු විය

ස්වාධින රූපවාහිනි සේවයට වසර 04 ක් තුළ සභාපතිවරුන් 06 දෙනෙක් පත්කර තිබෙන බවත් 2014 වන විට එම නාලිකාව සමීක්ෂණ වාර්තා වලට අනුව අංක එකේ පසු වූ බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

වසර 2කින් රාජය මාධ්‍ය ලාභකරනවා – කෙහෙළිය

පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වු බවත්, වසර 02 ක් තුල එම ආයතන ලාභ ලබන මට්ටමට නැවත පත් කරන බවත් ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනමාධ්‍යවේදින්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම සහ, මාධ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් සහනදායි ණය ලබා දෙන බවත්, ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුබසාධන වැඩකටයුතු රැසක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.

කාරක සභාව තුළදී දේශපාලන තීන්දු ගැනීමට සූදානම් නොමැති බවත්, සියලු පාර්ශව සමඟ සාකච්ජා කර පොදු තීරණ ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ප්‍රවෘත්ති කියන ප්‍රමිතියක් ඕන – උද්ධික ප්‍රේමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මෙහිදී පැවසුවේ ප්‍රවෘත්ති සඳහා භාවිත කරන භාෂාවේ ප්‍රමිතිය සම්බන්ධව සොයා බැලිය යුතු බවයි.

ඒ සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ළඟදීම ආර්ම්භ කරන බවත්, සදාචාරාත්මක මාධ්‍යවේදය ඉගැන්වීම සඳහා ජනමාධ්‍ය විද්‍යාලයක් ලබන වසරේ දී ආරම්භ කරන බවත්, ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් ජගත් පි. විජේවීර මහතා කාරක සභාවට දැනුම් දී ඇත.

උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් අවස්ථාවල දී ජනමාධ්‍යවේදීන්ට තර්ජනවලට මුහුණ දීමට සිදුවන බවත්, ඒවා පාලනයට මැදිහත් වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා සහාපතිවරයාගෙන් ඉල්ලිමක් කර සිටියේය.

එවැනි අවස්ථාවල දී කඩිනමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් සභාපතිවරයා පැවසීය.
(උපුටා ගැනිම – srilankamirror.com)

PWJA-1-1024x628

මේ අතර රටතුල ආචාරධර්ම පදනම් කරගත් වෙබ් මාධ්‍ය කලාවක් බිහිකිරිම වෙනුවෙන් දැනටමත් මැදිහත්වි ඇති වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය ඒ වෙනුවෙන් වෙබ් මාධ්‍ය ආචාරධර්ම පිළිබද ලියවිල්ලක්ද සකස් කොට ඇති අතර එය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙතද ලබාදිමට කටයුතු කර තිබුණි.
ඒ 2017 වසරේ දෙසැම්බර් 29 වනදාය.
එහිදි වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ ලේකම් , ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය කර්තෘ කැලුම් ශිවන්ත සංගමයේ කරුණු මෙසේ අවධාරණය කර සිටියේය

සුභ දවසක් වේවා !

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා ඇතුළු ආරාධිත අමාත්‍යවරුන්ගෙන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද, ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍ය සංගමයේ සහෝදර මාධ්‍ය සගයෙන්ගෙන් හා ආරාධිත සියළුදෙනාගෙන් අවසරයි.

මාහට පැවරී ඇත්තේ පසුගිය කාලයේදී අප විවිධ අවස්ථාවලදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගෙන් හා රජයේ උසස් නිලධාරීන්ගෙන් කරන ලද වෘත්තීය වෙබ් මාධ්‍ය කරුවන් පසුගිය කාලය පුරා මුහුණ දෙනු ලැබූ වෘත්තීය ගැටලු හා සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් රටතුළ ස්ථාපනය කිරීමට අවැසි මූලික ඉල්ලීම් මාලාවක් ඔබ හමුවේ තැබීමටය.

ගරු ජනාධිපතිතුමනි, පසුගිය කාලයේදී මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන්  44 දෙනෙකු ඝාතනයට ලක්වුණා. ඒ අතරින් 41 දෙනෙකුම දමිළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන්. කෙසේවුවද මේ දක්වාම කිසිදු දමිළ මාධ්‍යවේදියකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් කිසිදු පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන්නෙ නැහැ. අප ඔබතුමන්ගෙන් ඉල්ලීමක්කර සිටිනවා ද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා වෙබ් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ ඝාතන සම්බන්ධයෙන් සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණ මෙන්ම මේ අය සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරන මෙන්..එසේම එසේ ඝාතනයට ලක්වූ පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය සම්බන්ධයෙන්ද ඔබගේ අවධනය යොමුකරන ලෙසද අපි ඉල්ලා සිටිනවා.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මාධ්‍යවේදීන් පැහැරගෙනයාම්, ඝාතනය කිරීම් සිදු නොවීම සම්බන්ධයෙන් අප සතුටු වෙනවා. කෙසේවුවද, යහපාලන රජය යටතේම අප සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සහෝදරයා පහර කෑමට ලක්වුණා. එම පහරදීමට සම්බන්ධ එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකුව සිටි අයෙක් බව අප දන්නවා…එවැනි සිද්ධීන් සම්බන්ධයෙන්ද ඔබතුමන්ගේ අවධානය අපි අපේක්ෂාකර සිටිනවා…

පසුගිය ආණ්ඩු කාලයේදී වෙබ් අඩවි 8 ක් වාරණයට ලක්කර තිබුණා. අප සංගමයේ ද ඉල්ලීම පරිදි 2015 ජනවාරි 09 වෙනිදා ඔබතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි යහපාලන ආණ්ඩුව විසින් මේ සියලු අවහිරතා මුදාහරිනු ලැබුවා. නුතන සන්නිවේදන සමාජය තුල වාරණය හෝ එවැනි අවහිරතා යථාර්ථයක් නොවන බව අපගේ විශ්වාසයයි. කෙසේවුවද මෑතකදී සිට වෙබ් අඩවි කිහිපයකට නැවත අවහිරතා ඇතිවී තිබෙනවා ……අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහා පනවා ඇති එම අවහිරතා සම්බන්ධයෙන් සොයා බලා ඒවා නිදහස් කර මුදා හරින ලෙසයි.

ජනාධිපතිතුමනි, වෙබ් මාධ්‍ය අනාගත මාධ්‍ය බව අපගේ විශ්වාසයි. එසේම මේ රටට විදෙස් විනිමය රැගෙන ආ හැකි නව මාවතක් බවත් අපගේ විශ්වාසයි. එය මේවන විට ද ඇතැම් අංශ ඔස්සේ ඔප්පුකර තිබෙනවා, දිනෙන් දිනම අලුත්වන මේ මාධ්‍ය කලාව හා තාක්ෂණය වෙබ් මාධ්‍යකරණයේ නියැලෙන මාධ්‍යකරුවන්ගේ වෘත්තිය නිපුණතා හා කුසලතා ඉහල නංවාලීම වෙනුවෙන් විශේෂ පාඨමාලාවක් විශ්වවිද්‍යාලයයන් හා එක්ව නිර්මාණය කරන ලෙසත් අප ඉල්ලා සිටින අතර ආචාරශීලී වෙබ් මාධ්‍යකරණයක් වෙනුවෙන් පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට අවධානය යොමුකර සිටින ලෙසත් අප ඉල්ලා සිටිනවා.

එසේම, වෘත්තීය වෙබ් මාධ්‍ය කරුවාට මාධ්‍ය කේෂත්‍රය තුළදී සෙසු මාධ්‍යකරුවන්ට ලැබෙන වෘත්තීය අයිතිවාසිකම් සම ලෙස නොලැබෙන බවද කනගාටුවෙන් වුවත් කියා සිටීමට සිදුවනවා. එය විදේශ සංචාර විශේෂ අවස්ථා ආවරණය කිරීමට ලැබෙන අවස්ථාවල සිටම වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් සදහා අවැසි උපකරණ ලබා ගැනීමට ලැබෙන විවිධ සහන දක්වාම ක්‍රියාත්මක වෙනවා. වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් සදහා අවැසි උපකරණ ලබා ගැනීමට සහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිතුමනි, යහ පාලන රජය බලයට ගෙනඒමට වෙබ් මාධ්‍ය සහයක් දුන් බව අපගේ විශ්වාසයි. කෙසේවුවද යහ පාලන රජය බලයට පත්වීමෙන් පසුව අප වඩාත් අපහසුතාවයට පත් කළ කාරණාව රජයේ වෙළඳ දැන්වීම් බෙදා දෙන ලද ආකාරයි. එහිදී අපට අපගේ වෙබ් මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට එම දැන්වීම් වලින් ලැබුණු ප්‍රතිශතය බිංදුවක් බව කනගාටුවෙන් උවද දැනුම්දීමට සිදුවෙනවා. අප ඉල්ලා සිටිනවා රජයේ සියලු වෙළඳ දැන්වීම් වලින් යම් සාධාරණ ප්‍රතිශතයක් අචාරධාර්මික වෙබ් මාධ්‍යකරණයක නියැලෙන වෙබ් අඩවි සදහා ලබා දෙන ලෙස. 

එසේම, හෙට දවසෙ මාධ්‍ය කලාව බවට පත්වෙමින් ඇති වෙබ් මාධ්‍යකරණය හෙටට ගැලපෙන ලෙස වැඩි දියුණු කිරිම සදහා අවැසි ආයෝජනයන් සදහා සහනාදායි ණය ලබාදෙන ව්‍යාපෘතියක් නිර්මාණය කර දෙන ලෙසත් ජනාධිපති තුමනි ඔබ තුමා ඇතුළු විශය භාර මුදල් හා ජනමාධ අමාත්‍යතුමාගේද අවධානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටිනවා.

අප යුද්ධය නිමා කළත්,  සංහිඳියාවට තවත් දුරින් සිටින බව අප විශ්වාසයයි. මේ රට තුල කල්පවතින සාමයක් ස්ථාපිත කිරිම සදහා වන සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය  නිර්මාණය කිරිමට වෙබ් මාධ්‍යවේදීන්ගේ දායකත්වය ලබාගැනීමට විශේෂ වැඩපිලිවෙලක් නිර්මාණය කරන ලෙසත් ඔබතුමන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා….

අනාගත මාධ්‍ය සක්විති වෙබ් මාධ්‍ය බවත්, එනිසා ම අනාගතය අපේ බවත් නැවතවරක් මතක්කරමින්. වැරදි නිවැරදි කරගනිමින් මේ ගමන යාමට ඔබ සියලුදෙනාගේ සහයෝගය අපට ලබාදෙන ලෙස ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා…

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article