ශ්‍රී ලංකාවේ, උසම සුදු යකඩින් නිම වු , ජේසු ක්‍රිස්තු තුමන්ගේ ප්‍රතිමාව, ජනතා අයිතියට

0
355

 

ශ්‍රී ලංකාවේ දී, ප්‍රථම වතාවට සුදු යකඩ ලෝහයෙන් නිර්මාණය කරන ලද, මෙරට උසම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව අද දින (2026/07/29) සවස සීදුව පුරවරයේ පිහිටි “සුපුවත් අරණ” දෙව් මැදුරු පරිශ්‍රයේදී, දෙව් අසිරි මැද ජනතා අයිතියට පත් කෙරිණි. රුපියල් ලක්ෂ 336 ක් හෙවත් රුපියල් තුන් කෝටි තිස්හය ලක්ෂයක් වැය කරමින් ඉදිකෙරුණු මෙම අඩි 60 කට වඩා උසැති ප්‍රතිමාව, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ආශිර්වාදාත්මක හා තුති පිදීමේ වැඩසටහනකට සමගාමීව විවෘත විය.

මෙම අතිවිශිෂ්ට සංකල්පනාව සීදුව සුපුවත් අරණ දෙව් මැදුරේ අධ්‍යක්ෂක ගරු ඩැරල් කූඤ්ඤ පියතුමාට අයත් වන අතර, එය වසරකට අධික කාලයක් මුළුල්ලේ නිර්මාණය කර ස්ථාපිත කර ඇත.

වසර 25 කට පමණ පෙර, එනම් 2000 වසරේදී “පුංචි රෝමය” ලෙස ප්‍රකට මීගමුව පුරවරයට ආසන්නව සීදුව නගරයේ මනස්කාන්ත පරිසරයකින් හෙබි භූමියක ගොඩනගන ලද “සුපුවත් අරණ” දෙව් මැදුර, කොළඹ අගරදගුරු කලාපයට අයත් ප්‍රකට ආගමික, අධ්‍යාත්මික හා සමාජීය සංවර්ධන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. ස්වභාවධර්මය, පරිසරය, දේවත්වය, ඇදහිල්ල සහ ශ්‍රද්ධාව යන සංකල්ප මුසු කරගනිමින් නිර්මාණය වී ඇති සුපුවත් අරණ දෙව් මැදුරට සහ එම පරිශ්‍රයට, මෙම අභිනව ක්‍රිස්තු ප්‍රතිමාව ගෙන එන්නේ ගෞරවාන්විත අභිමානයකි. මනස සන්සුන් කර ගැනීමටත්, භාවනා යෝගීව සිට, යාච්ඤාවේ නිරතවීමටත් සුදුසු නිස්කලංක හා සාමකාමී වටපිටාවක් සහිත මෙම දෙව් මැදුරු පරිශ්‍රය තුළ මෙම නව ප්‍රතිමාව ස්ථාපිත කිරීමෙන් සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව තවත් වර්ධනය වනු ඇත.

මෙම ප්‍රතිමාවේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී මුහුණ සහ දෙඅත් නිර්මාණය කර ඇත්තේ මෙරට ප්‍රතිමා නිර්මාණ කලාවට ෆයිබර් ග්ලාස් තාක්ෂණය හඳුන්වා දුන්, කටාන, කදිරාන ප්‍රදේශයේ ප්‍රකට ප්‍රතිමා නිර්මාණ කලාකරුවෙකු වන රනිල් ප්‍රනාන්දු මහතා විසිනි. ඒ සඳහා ඔහුට මාස 8 ක පමණ කාලයක් ගත වී ඇත. සුදු යකඩ ලෝහය යොදා ප්‍රතිමාවක් හෝ ප්‍රතිමාවක කොටසක් හෝ ඔහු විසින් නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

ප්‍රතිමාවේ වානේ, යකඩ සහ කොන්ක්‍රීට් අඩංගු සැකිල්ල නිර්මාණය කිරීම ඉන්දික මහතාගේ සහ ඔහුගේ කණ්ඩායමේ දායකත්වයෙන් සිදු විය. සුදු යකඩ තහඩු ආකර්ෂණීය හැඩතල රටාවන්ට අනුව සවි කිරීම හෙවත් එම තහඩු එලීමේ නිර්මාණාත්මක කාර්යභාරය ප්‍රදීප් ලක්මාල් මහතා පුමුඛ ඔහුගේ කණ්ඩායම විසින් සිදු කරන ලදී. ප්‍රතිමාවේ සහ එය ස්ථාපනය කෙරෙන පරිශ්‍රයේ චමත්කාරය සහ ආකර්ෂණය වැඩි වර්ධනය කරන නව විදුලි ආලෝක ධාරා පද්ධතිය, විදුලි ආලෝක නිර්මාණ කාර්මික ශිල්පී ගයාන් මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් නිර්මාණය කර ඇත. මේ අනුව, සිය ගණනක් දෙනා එකම කණ්ඩායමක් ලෙස දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී මෙම ඓතිහාසික ප්‍රතිමාව ගොඩනැගීමට දායක වී ඇත.

මෙම ඓතිහාසික ජේසුස් ක්‍රිස්තු තුමන්ගේ ප්‍රතිමාව ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනේදී, ප්‍රතිමාවේ රාමු කරන ලද මනරම් ඡායාරූපයක් ස්මරණ සිහිවටනයක් ලෙස ගරු ඩැරල් කූඤ්ඤ පියතුමන් විසින් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමන්ට පිළිගන්වන ලදී. එමෙන්ම, ප්‍රතිමාව තැනීම සඳහා මූල්‍ය, තාක්ෂණික හා ශ්‍රම දායකත්වය සැපයූ පිරිසටත්, සුපුවත් අරණ දෙව් මැදුරේ කටයුතුවලට විවිධ අයුරින් උපකාර කළ පිරිසටත්, එලෙස රාමු කරන ලද ඡායාරූප ස්මරණ සිහිවටන ලෙස පිරිනැමීම කාදිනල් තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී ආරාධිතයින් සහ සැදැහැවතුන් ඇමතූ ගරු ඩැරල් කූඤ්ඤ පියතුමා, ප්‍රතිමාව නිර්මාණයේ සිට ස්ථාපනය දක්වා වූ සියලු කාර්යයන් සඳහා කතෝලික සහ කතෝලික නොවන දෙපාර්ශවයේම ද්‍රව්‍යමය, ශ්‍රම හා මූල්‍ය දායකත්වයන් ලැබුණු බව සඳහන් කළ අතර, ඒ සියලු දෙනාටම විශේෂ ස්තූතියක් ද පිරිනැමීය.

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් කාලීන මාතෘකාවන් පදනම් කරගනිමින් කෙටි දෙසුමක් පැවැත්වූ අතර, හෙට දිනට එනම් ජූලි මස 30 වැනි දිනට (30/07/2026) සිය පූජක දිවියේ 32 වැනි අභිමානවත් වර්ෂ පූර්ණය සමරන ගරු ඩැරල් කූඤ්ඤ පියතුමානන්ට උණුසුම් සුබ පැතුම් පිරිනමමින් දේවාශීර්වාදයද ප්‍රාර්ථනා කළේය.

මෙම අභිමානවත් වැඩසටහනට බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, කතෝලික පියතුමන්ලා විශාල පිරිසක්, කන්‍යා සොහොයුරියන් ඇතුළු ආරාධිතයන් මෙන්ම මීගමුව-සීදුව ප්‍රදේශයේ සැදැහැවතුන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here