spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රී ලාංකීය කුළුබඩු ‘Ceylon Spice’ වෙළඳ නාමය දියත් කෙරේ.

Must read

Ceylon-Spice

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කුළුබඩු අංශය සඳහා ශ්‍රී ලාංකීය සම්භවය සහතික කෙරෙන වෙළඳ ලකුණක් ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමේ පළමු අදියර “සිලෝන් කුළුබඩු” සන්නාමය නිල වශයෙන් දියත් කිරීම 2019 සැප්තැම්බර් 25 වන බදාදා කොළඹ, ජයික් හිල්ටන් හිදී සිදු කරන ලදී.ශ්‍රී ලාංකේය සම්භවය ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සහතික කිරීම තුලින් ශ්‍රී ලාංකීය කුළුබඩු සඳහා ඇති ජාත්‍යන්තර කීර්තිය ආරක්ෂා කර ගැනීමටත් අවභාවිතය වළක්වා ගැනීමත් අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සදහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි සහ ප්‍ර‍ධාන විධායිකා ඉන්දිරා මල්වත්ත මහත්මිය ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී විය.

කුළුබඩු හා සාන්ද්‍රිත අංශය, ජාතික අපනයන ප්‍ර‍තිපත්තිය තුළ අපනයන ප්‍ර‍වර්ධනය සඳහා හඳුනා ගත් ප්‍ර‍මුඛතා අංශයකි. ජාත්‍යන්තර කුළුබඩු වෙළඳපොළ තුළ, නිරතුරුව නවෝත්පාදනය තුලින් අගය එකතු කළ කුළුබඩු නිෂ්පාදනයේ යෙදෙන රටක් ලෙස ගෝලීය පිලිගැනීමට ලක්වීම එහි එක් උපායමාර්ගික අරමුණකි. කුළුබඩු සඳහා වූ ශ්‍රී ලාංකීය සන්නාමයක් ලෝක වෙළඳපොළට හඳුන්වා දීම එහි හඳුනාගත් ක්‍රියාකාරකමක් වන අතර එමගින් කුළුබඩු හා සාන්ද්‍රිත අංශය සඳහා 2022 වසර සඳහා ජාතික අපනයන ඉලක්කය වන ඇ.ඩො.මි. 880 ලගා වීමට අපේක්ෂා කෙරේ.

කුළුබඩු සඳහා වෙළඳ සන්නාමයක් නිර්මාණය කිරීම සඳහා තෝරාගත් කීර්තිමත් සන්නමකරණ ආයතනයක් වන මිෂෙල් නුගවෙල පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලාංකීය කුරුඳු, ගම්මිරිස් හා අනෙකුත් කුළුබඩු අතර ඇති සම්බන්ධතාවය පිලිබඳ මනා අධ්‍යයනයකින් පසුව නව කුළුබඩු සන්නාමය, එහි දෘෂ්‍ය අනන්‍යතාවය හා සන්නාමයේ භාවිතය පිළිබඳ උපාය මාර්ගික ආකෘතිය නිර්මාණය කරන ලදී.

මෙම සන්නාමය නිර්මාණය කිරීම සඳහා පසුගිය වසර 1 ½ කාලය තුළ පුද්ගලික හා රාජ්‍ය අංශයේ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා මාලාවක් පවත්වා ඇත. මේ සඳහා ගෝලීය වෙළඳපොළේ ලංකා කුළුබඩු හා අනෙකුත් කුළුබඩු පිළිබඳ ප්‍රමාණාත්මක හා ගුණාත්මක තක්සේරුවක් හා ප්‍රාථමික හා ද්විතීය පර්යේෂණ මාලාව ක් ද ඇතුළත් විය.

ලොව විශාලතම සත්‍ය කුරුඳු නිෂ්පාදනය කරන රට ශ්‍රී ලංකාව වන අතර සත්‍ය කුරුඳු සඳහා ලෝක වෙළඳ අගයෙන් 85% ක ප්‍රමාණයකට ශ්‍රී ලංකාව දායක වේ. 2018 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයන ආදායම ඇ.ඩො.මි. 213 කි. මෙක්සිකෝ, පේරු, කොලොම්බියා වැනි රටවල් අපගේ ප්‍ර‍ධාන කුරුඳු ගැනුම්කරුවන් වේ. සිදු කරන ලද වෙලඳපොළ විශ්ලේෂණ අනුව 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කුරුඳු සැපයුමේ ප්‍ර‍මාණාත්මක අඩුවීමක් (-9%) පෙන්නුම් කරන අතර ලංකා කුරුඳු සඳහා ආදේශකයක් වන කැෂියා කුරුඳුවල ප්‍ර‍මාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි (චීනය 34.2%, ඉන්දුනීසියාව 23.4%, වියට්නාමය 18.7%). 2017 වර්ෂයේ දී ලෝක කුරුඳු මිලෙහි ඉහළම වර්ධනයක් (32%) ශ්‍රී ලංකාව වාර්තා කර ඇත. ශ්‍රී ලාංකීය කුරුඳු සඳහා ඉහළ ඉල්ලුමක් ලෝක වෙළඳපොළ තුළ තිබුණ ද සාම්ප්‍ර‍දායික වෙළඳපොළ මත පමණක් තව දුරටත් රැඳීම කුරුඳු කර්මාන්තය සඳහා පවතින අවධානමක් ලෙස හඳුනා ගත හැකිය.

මෙම අධ්‍යයනය පරිදි ගම්මිරිස් නිෂ්පාදනය කරන අනෙකුත් රටවලට වඩා ලංකා ගම්මිරිස්වලට ඉහළ රසායනික ගුණාංග තිබියදීත්, ශ්‍රී ලංකා ගම්මිරිස් අපනයන බොහෝ දුරට රඳා පවතින්නේ (71% පරිමාවක් හා 73% ක වටිනාකමක්) ඉන්දියාව මතය. මෙම විශ්ලේෂණයෙන් පෙන්නුම් කෙරෙනුයේ ලෝකයේ කුළුබඩු නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් ප්‍ර‍මාණාත්මක වර්ධනයක් තුළින් උපාය මාර්ගිකව ගෝලිය වෙළඳපොළේ ඉස්මතු වෙමින් පවතින බවයි. ඔවුන් කුරුඳු පරිභෝජනය කරන රටවල් සමඟ නිෂ්පාදන නවෝත්පාදන සඳහා හවුල්කාරීත්ව ඇති කරගැනීම හා කේවල් කිරීමේ හැකියාව ඇති කර ගැනීම මගින් වෙලඳපොළ තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීමට කටයුතු කරයි. නමුත් තවදුරටත් ශ්‍රී ලංකාව ප්‍රාථමික නිෂ්පාදන තොග වශයෙන් අපනයනය කිරීමේ රැඳී සිටිනු දක්නට ලැබෙයි.

එබැවින් ලංකා කුරුඳු හා කැෂියා කුරුඳුවල වෙනස පිළිබඳ දැනුවත් භාවය ඇතිකිරීම හා ලංකා ගම්මිරිස් හා අනෙකුත් කුළු බඩුවල ඉහල ගුණාත්මක භාවය පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වේ. යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ගල්ෆ් කලාපය වැනි දියුණු වෙළඳපොළවල ශක්තිමත් සන්නාමකරණ ව්‍යාපෘතියක් දියත් කිරීම හා ශ්‍රී ලාංකීය කුළුබඩු සාමූහිකව ප්‍රවර්ධනය කිරීම මෙම සන්නාම උපාය මාර්ග ආකෘතිය මගින් යෝජනා කර ඇත.

මෙලෙස තනි වෙළඳ නාම ප්‍ර‍තිරූපයක් කෙරෙහි අවදානය යොමු කිරීම මගින් සන්නාමය පිළිබඳ ගෝලීය දැනුවත්භාවය වර්ධනය කිරීම අපේක්ෂා කරනු ලැබේ

“Ceylon Spices” සන්නාමය සදහා සුදුසුකම් ලබන සියලුම කුළුබඩු එකම ලාංජනය, වර්ණය, හා ‘Born in Sri Lanka’ යන තේමා පාඨය යටතේ ලෝක වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබේ.
‘Born in Sri Lanka’ තේමා පාඨය පහත පරිදි අර්ථ දක්වා ඇත.
1. සත්‍ය කුරුඳු එහි උපන් බිම වන ශ්‍රී ලංකාවේ සිට ලොව පුරා ව්‍යාප්ත වේ.
2. අපගේ කුළුබඩු බීජයේ සිට බෝගය දක්වාම අප භූමියේ පමණක් වගා කර, සකස් කර ඇති අතර ඒවා වගා කිරීම සදහා අවශ්‍ය දේශගුණික තත්ත්ව, පාංශු සාධක හා දීප්තිමත් හිරු එළියෙන් අප දිවයින සමන්විත වේ.
3. ඒ සම්බන්ධ පාරම්පරික අත්දැකීම හා විශේෂඥ දැනුම ලෝකය වෙනත් කිසි රටක නොමැති අතර අපේ කුළුබඩු අප ගොවීන් විසින් පරම්පරා ගණනාවක් තිස්සේ සිදුකල පරිදි රැකබල ගැනීම හා අතින් නෙලාගැනීම සිදුකරයි.
4. එය ශ්‍රී ලංකාවේ සිට ඔබ වෙත ගෙන එන්නේ කුළුබඩුවල වටිනාකම ඉතා උද්‍යෝගයෙන් වටහා ගෙන ඔවුන්ගේ ප්‍රියතම ආහාර වර්ගවලට භාවිතා කරන හා ඒවාගේ පරිණාමන රසය, සුවඳ, ගුණාංග විශ්වාස කරන ශ්‍රී ලාංකිකයන් විසිනි.

ප්‍ර‍මිතිකරණය සඳහා වන උපායමාර්ගයන් ලෙස

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය “Ceylon Spice” වෙළඳ ලකුණෙහි හිමිකරු වන අතර මෙම වෙළඳ ලකුණ තම අපනයන භාණ්ඩ සඳහා යොදා ගැනීමට අපනයනකරුවන් විසින් අපනයන සංවර්ධන මණ්ඩලය මගින් නිකුත් කරන මාර්ගෝපදේශවලට අනුකූල විය යුතුය. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකේය නිෂ්පාදන ප්‍ර‍මිතිකරණය උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි කොටසක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

වෙළඳ ලකුණ නිකුත් කිරීම, අධීක්ෂණය හා පාලනය අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාර්මික තාක්ෂන ආයතනය හා ශ්‍රී ලංකා ප්‍ර‍තීතන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක කරයි. අපනයන නිෂ්පාදිතයේ ඇසුරුමෙහි “Ceylon Spices” ලාංඡනය භාවිතා කිරීම සඳහා GAP හා GMP සහතික අනිවාර්ය වේ.
“Ceylon Spices” වෙළඳ සන්නාමය 2019 ඔක්තෝබර් මාසයේ දී ලොව විශාලතම ආහාරපාන සඳහා වූ වෙළඳ ප්‍ර‍දර්ශනය වන ජර්මනියේ පැවැත්වෙන “අනුගා“ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ දී ජාත්‍යන්තරයට හඳුන්වාදීමට අපේක්ෂා කරයි.
 

 

(www.infosrilankanews.info)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article