spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සාදය මාරයි සල්ලි හමාරයි ප්‍රධාන සන්ධිස්ථානයකට ඇවිත්?

Must read

5a13a7f9281bd4ji7xz3y

ඔව්. “සාදය මාරයි සල්ලි හමාරයි” වේදිකා නාට්‍යය මේ වෙද්දී අති සාර්ථකව දෙසීය වැනි දර්ශන වාරයටත් සූදානමින් පවතිනවා. අවුරුදු තුනක් වගේ කෙටි කාලයක් තුළ මෙවැනි දර්ශන වාර සංඛ්‍යාවකට යෑමට හැකිවීම ගැන නම් ඇත්තට ලොකු සතුටක් තියෙන්නේ.

මේ අපූරු වේදිකා නාට්‍ය නිර්මාණය වුණු හැටි මතක් කළොත්?

“ගැහැනු වැඩ අරඹති” නාට්‍යයෙන් පස්සේ මම අධ්‍යක්ෂණය කරපු දෙවැනි වේදිකා නාට්‍ය තමයි “සාදය මාරයි සල්ලි හමාරයි” කියන්නේ. “රේකූනි” කියන නාට්‍යකරුවාගේ “ෆනී මනී” කියන නිර්මාණයේ අනුවර්තනයක් ලෙසයි මේ නාට්‍යය අපි 2014 වර්ෂයේදී නිර්මාණය කරන්නේ.

මේ නාට්‍යය පහුගිය කාලේ සම්මානයන්ටත් පාත්‍ර වුණා. ඒ ගැනත් මතක් කරමු?

ඔව්. 2015 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා, හොඳම නිළිය වගේම හොඳම වේදිකා පරිපාලනය වෙනුවෙනුත් සම්මාන දිනාගැනීමට අපිට හැකි වුණා. ඒ වගේම එම සම්මාන උළෙලෙදීම හොඳම නාට්‍ය සහ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශ නාම අතරට එන්නත් ‘සාදය මාරයි සල්ලි හමාරයි’ සමත් වුණා.

පාසල් ගුරුවරයෙක් විදියටත් වැඩකටයුතු කරමින් වේදිකාව, පුංචි තිරය, රිදී තිරය තුළ රංගනයටත් දායක වන ඔබට වේදිකා නාට්‍යයක් මේ විදියට දර්ශනවාර දෙසියයක් දක්වා රට පුරා ගෙනියන එක අභියෝගයක් වුණේ නැද්ද?

මේක තනි ප්‍රයත්නයක් නෙවෙයි. අපි මේ නාට්‍ය රට පුරා ගෙනියන්නේ මනා සංවිධානාත්මක බවක් එක්ක. ඉතින් මෙම නාට්‍යයේ නිෂ්පාදකවරයා ප්‍රියංකරගේ සිට රංගන ශිල්පීන් සියලු දෙනාත් මට මේ වෙනුවෙන් ලොකු සහායක් දෙනවා. ඉතින් ඒ සංවිධානාත්මක බවත් එක්ක තමයි අපි මේ ගමන ඇවිත් තියෙන්නේ.

“සාදය මාරයි සල්ලි හමාරයි” මෙතරම් සාර්ථකව වේදිකාගත වීමේ රහස මොකක්ද..?

මම හිතන්නෙ ප්‍රහසන නාට්‍යයක් විදියට මේක අනෙක් විහිළු සපයන නාට්‍යන්ගෙන් ඔබ්බට ගිය එකක් වීම තමයි ඒකට ප්‍රධානම හේතු සාධකය වෙන්න ඇත්තේ. මොකද ලංකාව ඇතුළෙ අර්ථාන්විත ප්‍රහසන නාට්‍ය කියන ඒවා නැති තරම්. ගොඩක් වෙලාවට ප්‍රහසන කියලා ලංකාවේ අපි දකින්නේ දෙමළ කෙනෙක් සිංහල හෝ සිංහල කෙනෙක් දෙමළ කතා කරන හැටි හරි, මනුෂ්‍යයකුගේ ශාරීරික, මානසික දුබලතාවක් හරි, පිරිමියෙක් ගැහැනු ඇඳුමක් ඇඳගෙන කරන දෙයක් හරි පෙන්නල හිනා ගස්සන එක. නමුත් සැබෑම මිනිසුන්, සැබෑ නොවූ අත්දැකීම්වලට මුහුණදීම මඟින් අර්ථාන්විත ප්‍රහසනයක් මතු කිරීමයි අපි කරලා තියෙන්නේ.

නාට්‍යයේ දෙසිය වැනි දර්ශනය පැවැත්වෙන්නේ කවදා කොහෙදිද කියලත් කියමු.

නොවැම්බර් 19 වැනිදා (අද) බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී තමයි අපේ දෙසිය වැනි දර්ශන වාරය පවත්වන්නේ. ඉතින් එදාට ප.ව. 3.30 දර්ශන වාරය සහ ප.ව. 6.30 දර්ශන වාර නරඹන්න එන්න කියලා මම සියලුම රසික ප්‍රේක්ෂක ජනතාවට ආරාධනා කරනවා.

මෑතකදී චිත්‍රපටයකින් ඔබව දැකගන්න ලැබුණෙ නැහැනේ?

ඔව්. චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. අශෝක හඳගමගේ අසංදිමිත්තා වගේම ජමීලා සහ ඛ්ධතධථඡධ කියන චිත්‍රපටත් තිරගත වීමට නියමිතවයි තියෙන්නේ. ඊට අමතරව ප්‍රසන්න විතානගේ විසින් සිදු කිරීමට නියමිත චිත්‍රපටයක් වෙනුවෙන් ආරාධනා ලැබිලා තියෙනවා.

වේදිකා නාට්‍ය කිරීම ලොකු කට්ටක්, නාට්‍ය බලන්න දැන් මිනිස්සුත් නැහැ කියලා මතයක් තියෙනවා. ඒක ඇත්තක්ද?

මෙහෙමයි. මහා කම්මැළියකුට උදේ නැඟිටින එකේ ඉඳන් දවසේ කරන හැම වැඩේම මහා කට්ටක් විදියටනේ දැනෙන්නේ. නමුත් කම්මැළියන්ට එහෙම හිතුණා කියලා අනෙක් පිරිස ඒකට පළි නැහැ. ඉතින් අපිට නම් වේදිකාව ඔය කියන විදියේ කට්ටක් විදියට දැනිලා නැහැ. අනික වේදිකාවට ප්‍රේක්ෂකයෝ නැහැ කියන එකත් බොරුවක්. මම නම් වේදිකාවට ආපු කාලෙ ඉඳන් මේ දක්වාම ප්‍රේක්ෂකයන්ගේ අඩුවක් දැකලා නැහැ. දෙයියනේ කියලා මං ඉන්න නාට්‍ය බලන්න නම් ප්‍රේක්ෂකයෝ ඕන තරම් එනවා.

ලැබෙන ප්‍රතිචාරත් එක්ක රටින් එතෙරටත් මේ නාට්‍යය අරගෙන එන්න කියලා ආරාධනා ලැබෙනවා ඇති?

ඔව්. ආරාධනා නම් ගොඩ කාලෙක ඉඳන් ලැබෙනවා. නමුත් එහෙම යනවා නම් රංගන ශිල්පීන් සියලු දෙනාවම අපි ගෙනියන්න ඕනෙ. මොකද ටික දෙනෙක් විතරක් අරගෙන ගිහින් මේ නාට්‍යය එතෙර වේදිකා ගත කරන්න ගියොත් ඒක නාට්‍යයේ ගුණාත්මක භාවයට ප්‍රශ්නයක්. ඉතින් ඒ හේතුව නිසාම දැනට ලැබෙන ආරාධනා නම් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් නාට්‍ය තුළ දායක වන හැම රංගන ශිල්පියෙක්ම ගෙනියන්න පුළුවන් විදියේ ආරාධනාවක් ලැබුණොත් ඒ ආරාධනාව භාර ගන්නත් පැකිළෙන්නේ නැහැ.

දෙවෙනි ඉනිම සහ කූඹියෝ තුළ ඔබේ රංගනය ගැනත් මේ දවස්වල බොහෝ දෙනා කතා වෙනවා නේද?

ඔව්. දෙවෙනි ඉනිම කියන්නේ දීර්ඝ නාට්‍යයක්. කූඹියෝ කියන්නේ කුඩා කොටස් ප්‍රමාණයක නාට්‍යයක්. ඉතින් මේ නාට්‍ය දෙකම ලබලා තියෙන සාර්ථකත්වයත් එක්ක මටත් හැම තැනින්ම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

දෙවෙනි ඉනිම සහ කූඹියෝ අතර සමාජ ඝට්ටනයකුත් ඇතිවෙලා. සමහරු කූඹියෝ හොඳයි කියනවා. සමහරු දෙවෙනි ඉනිම හොදයි කියනවා. ඔබ මේ ගැන මොකද හිතන්නේ?

මං නම් හිතන්නේ ඇත්තටම මේ ගැටුම හොඳ දෙයක්. මොකද ලංකාවේ නිර්මාණ දෙකක් ගැන මිනිස්සු අතරෙ මෙහෙම ඝට්ටනයක් නිර්මාණය වෙලා තිබුණෙම නැහැනේ. ඉතින් එහෙම තත්ත්වයක් දැන් හරි ඇති වෙලා තිබීම හොඳ ලක්ෂණයක්. ලංකාවේ අද තිබෙන ජනප්‍රියම ටෙලි නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. ඒ වගේම අද පේන්න තියෙන හොඳම ටෙලි නාට්‍යයක් තමයි කූඹියෝ කියන්නේ. ඉතින් මේ දෙක හරහා සමාජය මෙවැනි සංවාදයකට පැමිණ තිබීම ගැනත් මට නම් තියෙන්නේ සතුටක්.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article