මීගමුව, ශ්‍රී විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ප්‍රථම වතාවට සංවිධානය කර ඉදිරිපත් කරන ” මීපුර වෛශාඛ්‍ය මංගල්‍යය 2025,” , ” ධර්ම විජය වෙසක් කලාපය ඊයේ සවස (13/05/2025) විවෘත කෙරිණි.
ඊයේ දින එනම් වෙසක් පොහෝදා සවස එම මධ්‍යස්ථානයේ ඉදිකර ඇති සමුද්‍ර වාණිජ ජාතක කථා වස්තුව නිරූපණය වන දර්ශනය තොරන ආලෝකමත් කිරීමෙන් අනතුරුව මෙම වෙසක් කලාපය සැදැහැවතුන් වෙනුවෙන් විවෘත විය.
ශ්‍රී විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය දෙල්වල අංගීරස ස්වාමින් වහන්සේගේ සහ මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී විජය මූලික පිරිවෙණෙහි, පරිවේනාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය බඳුරාගොඩ රාහුල ස්වාමීන් වහන්සේ ගේ ආරාධනයෙන් රද්දොළුව ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති ,දේශීය වෛද්‍ය වීදියගොඩ විජිතවංශ නායක ස්වාමීන් වහන්සේ, මාරිස්ටෙල්ලා විදුහල්පති ගරු සුනන්ද සහෝදර තුමා, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා , මීගමු නාගරික කොමසාරිස් නුවණි සුදුසිංහ මහත්මිය, එලෙසම මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සඳහා සිය නිවස සහ එම භූමිය පරිත්‍යාග කළ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වු විජේපාල මෙන්ඩිස් මහතාගේ සොහොයුරා වන තෝෂතී මෙන්ඩිස් මහතා ඇතුළු තවත් ආරාධිත අමුත්තන් රැසක් මෙම වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.
දර්ශණීය තොරණ, අලංකාරවත්ව නිමවා ඇති පහන් කූඩු, ඇතුළු තවත් චිත්තාකර්ෂණීය අංග කිහිපයකින් සමන්විත මෙම වෙසක් කලාපය තුළ ඊයේ දිනයේ මෙන්ම අද දින සවස් කාලයේදී භක්ති ගීත සංදර්ශනයන්ද පැවැත්වේ.එමෙන්ම වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලු දෙනා වෙත රාත්‍රී ආහාරය සැපයෙන මහා බත් දන්සැලක්ද මෙම වෙසක් කලාප පරිශ්‍රය තුළ පැවැත්වේ.
වෙසක් පොහොය යෙදුණු ඊයේ දින උදෑසන අති ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා දර්ශනීයවුත් අලංකාරවුත් පෙරහරකින් මෙම මධ්‍යස්ථානය වැඩමවා ඇති අතර ඊයේ දින පටන් එළඹෙන 18 වැනිදා දක්වා එම අති ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට ද මෙහි පැමිණෙන සැදැහැවත් ජනතාව වෙත අවස්ථාව සලසා දී තිබේ..
ඒ අනුව වෙසක් කලාපය නැරඹීමටත්, අති ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගන්නටත් එළඹෙන 18 වෙනදා දක්වා මීගමුව, කොපපරා හන්දිය, ශ්‍රී විජේපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන සංවිධානය කර ඉදිරිපත් කරන ” මීපුර වෛශාඛ්‍ය මංගල්‍යය 2025,” , ” ධර්ම විජය වෙසක් කලාපය පැමිණෙන ලෙස සියලු දෙනා වෙත බැති සිතින් මෙලෙස ආරාධනය කර සිටිමු.