.
පසුගිය 24 වැනි දින (24/09/2025) මීගමු නගර ශාලාවේ පැවැති මීගමුව සංවර්ධන කම්ටු රැස්වීමේදී මීගමුවේ කරවල නිෂ්පාදනය පිළිබඳව අවධානයට ලක් කෙරිණි.
මීගමුව, ප්‍රදේශයේ කරවල නිෂ්පාදනය කෙරෙන එනම් කරවල වෙලීම සිදු කරනු ලබන ප්‍රදේශ 05 ක් හඳුනාගෙන ඇත. දූව-පිටිපන, කුට්ටිදූව, පළඟතුරේ, කාමච්චෝඩේ සහ මංකුලිය එම ප්‍රදේශ වන අතර දූව-පිටිපන ප්‍රදේශය හැරෙන්නට අනිත් සියලුම ප්‍රදේශවල වැඩිපුරම කරවල වේලීම සිදු කරු ලබන්නේ වෙරළාශ්‍රිතවය. දූව පිටිපන ප්‍රදේශයේ බොහෝ විට පෞද්ගලික ඉඩම්වල කරවල වේලීම සිදු කරනු ලබයි.
මෙහිදී මූලිකවම අවධානයට යොමු වූයේ කරවල නිෂ්පාදනයේදී එනම් කරවල වේලීමේදී , එම කරවල වල උසස් ප්‍රමිතිය, සෞඛ්‍ය ආරක්ෂිත බව සහ කරවල නිෂ්පාදනයේ දී අවට පරිසරයට සහ සෙසු පොදු ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම යන ආදී කරුණු පිළිබඳවයි.
එහිදී මීගමුව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ වෙනත් ආහාර නිෂ්පාදනයේ දී එම ප්‍රමිතීන් පවත්වාගෙන යෑම සඳහා ප්‍රතිපත්තීන් සකස්කර ඇතත් කරවල නිෂ්පාදනයේදී එහි ප්‍රමිතීන් පවත්වාගෙන යෑම සඳහා කිසිදු ප්‍රතිපත්තියක් මේ වනතෙක් රජය විසින් ඉදිරිපත් කර නොමැති බවයි. ඒ නිසා කරවල වල ප්‍රමිතිය සම්බන්ධයෙන් හා කරවල නිෂ්පාදනය සඳහා නිසි ප්‍රතිපත්තියක් තිබිය යුතු බව මීගමුව සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම කමිටු රැස්වීමේදී අනාවරණය කලහ.
මෙහිදී විශේෂයෙන්ම මීගමුව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කළේ කරවල වෙලීම සඳහා යොදා ගන්නා මාළු වල තත්වය පිළිබඳවද යම් ගුණාත්මක ප්‍රමිතියෙන් තිබිය යුතු බවයි. එලෙසම කරවල නිෂ්පාදනයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් වැඩපිළිවෙළක් සහ කරවල වියලීමේ ස්ථාන ද විධිමත් ලෙසත්, පිරිසිදු ලෙසත් සකස් කළ යුතු ව ඇති බවයි. එලෙසම කරවල නිෂ්පාදනයේදී ඉවතලන අපද්‍රව්‍ය මෙන්ම ඉවතලන අප ජලය පරිසරයට මුදා හැරීම සඳහා ද යම් විද්‍යානුකූල ක්‍රමවේද භාවිතා කරමින් සැකසූ වැඩපිළිවෙලක් අවශ්‍ය බවද මෙහිදී අනාවරණය විය. ඒ අනුව කරවල නිෂ්පාදනයේ මුල් පියවරේ සිට අවසාන් පියවර දක්වාම කරවල නිෂ්පාදන වල උසස් ගුණාත්මක ප්‍රමිතිය පවත්වාගෙන යෑම සඳහා පිළිපැදිය යුතු කරුණු කාරණා අඩංගු ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවයක් මතුවන බවද මෙහිදී අවධානයට ලක් කෙරිණි.
මෙහිදී මීගමු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ කරවල නිෂ්පාදනයේදී එලෙස සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පවත්වා ගෙන යාම සිදු නොකරන හා මගහරින කරවල නිෂ්පාදකයන්ව එම කර්මාන්තයෙන් ඉවත් කිරීමට තමන්ට බලයක් නොමැති අතර එම නිෂ්පාදකයන් විධිමත් කිරීම සඳහා නිර්ණායකයන් ඉදිරිපත් කිරීමට බලය ඇති බවයි. ඒ අනුව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ මෙවැනි තත්ත්වයක් තුළ සියලුම රාජ්‍ය ආයතන එනම් මහා නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය හෝ ධීවර දෙපාර්තමේන්තුව, නාරා ආයතනය වැනි සියලු රාජ්‍ය ආයතනත් එමෙන්ම ධීවර සමිති, කරවල නිෂ්පාදකයන්ගේ සමිති, ධීවර ජනතාව සහ කරෝල නිෂ්පාදනයේ යෙදී සිටින පිරිස් ඇතුළු සියලු දෙනා ඒකරාශී කරගෙන නිසි ප්‍රතිපත්තියක් රජය විසින් සම්මත කර ඉදිරිපත් කළ යුතු බවයි.
එහිදී මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ප්‍රාදේශීය ධීවර කමිටු රැස්වීමේදී මෙම ගැටළුව සඳහා යම් නිසි පියවරක් ගැනීම සඳහා කමිටුවක් පිහිටුවා මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් සිදුකර පියවරක් ගත හැකි බවයි. ඒ අනුව ඔහු ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අමතා මේ පිළිබඳව අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරන ලෙස ද ප්‍රකාශ කළේය.
පසුගිය 24 වැනි දින මීගමුව නගර ශාලාවේ පැවති මෙම සැප්තැම්බර් මාසයට අදාල සංවර්ධන කමිටු රැස්වීම , මහින්ද ජයසිංහ සහ සුගත් තිලකරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මීගමුව නගරාධිපති, මීගමුව ප්‍රාදේශීය ලේකම්වරිය සහ මීගමුව නියෝජ්‍ය නගරාධිපතිවයා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් පිරිසක්ද මෙම රැස්වීමට සහභාගි වූහ.












