මරණය පරාජය කළ පොතුවිල් දොස්තර මහතා සහ වසරකට පසු නැවත පැමිණි රෝසි…

0
185

 

හරියටම මීට වසරකට පෙර, පොතුවිල් රෝහලේදී එක් විදේශීය සංචාරකයෙකුගේ ජීවිතයත් මරණයත් අතර සටනක් පැවතුණා.

අද,
ඒ කතාවේ දෙවන පරිච්ඡේදය ලියවෙන්නේ ඉතාමත් සුන්දර විදිහටයි. එදා මරණයෙන් බේරුණු බ්‍රිතාන්‍ය ජාතික රෝසි, වසරකට පසු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා—තමන්ට නව ජීවිතයක් දුන් ඒ වීරයන්ට ස්තූති කරන්නට.

එදා රාත්‍රියේ සිදු වූයේ කුමක්ද?
පොතුවිල් සංචාරයක නිරත වූ රෝසිට ඇති වූයේ දරාගත නොහැකි බඩේ අමාරුවක්. රෝහලට රැගෙන එන විටත් ඇයගේ ගර්භාෂයෙන් පිටත කළලයක් පුපුරා ගොස් (Ectopic Pregnancy) උදරය තුළට රුධිරය ලීටර් දෙකකට වඩා වහනය වී තිබුණා.
එම මොහොතේ තිබූ අභියෝග අතිශය බියකරුයි:

* සීමිත පහසුකම්:
සම්පූර්ණයෙන් සිහි නැති කිරීමට (General Anesthesia) පහසුකම් හෝ විශේෂඥ වෛද්‍යවරයකු එතැන සිටියේ නැහැ.
* ප්‍රවාහන බාධා:
ගිලන් රථ සේවාවන් අඩපණව තිබූ අතර, වෙනත් රෝහලකට මාරු කිරීමට උත්සාහ කළා නම් රෝසි මගදී මිය යාමට ඉඩ තිබුණා.

* තීරණාත්මක මොහොත:

විදේශීය සංචාරකයෙකුගේ මරණයක් යනු රටේ සෞඛ්‍ය පද්ධතියටත්, සංචාරක කර්මාන්තයටත් එල්ල වන මරු පහරක්.

නිර්භීත වීරයා:

විශේෂඥ වෛද්‍ය ආසිරි මහානාම
එම අසීරු අවස්ථාවේදී VOG ආසිරි මහානාම මහතා අතිශය බරපතල තීරණයක් ගත්තා. සිහි නැති කරන වෛද්‍යවරයෙකු නොමැති වුවත්, නිර්වින්දන වෛද්‍යවරයාගේ සහායෙන් කොන්දෙන් පහළ පමණක් හිරිවට්ටා (Spinal Anesthesia) මේ අතිශය අවදානම් සැත්කම සිදු කිරීමට ඔහු ඉදිරිපත් වුණා.

ඔහුගේත්, ඔහුගේ කණ්ඩායමේත් ඒ නොබියව ගත් තීරණය නිසා රෝසිගේ ජීවිතය බේරුණා.

වෘත්තීය නිහතමානීකම

මා මේ ගැන එතුමාට කතා කරලා මගේ ගෞරවය ප්‍රකාශ කළාම ඔහු දුන්නු පිළිතුර තමයි මාව වඩාත්ම පුදුම කළේ.
ඔහු කිව්වේ:

“මං මාතර වැඩ කරන කාලේ මට ඉගැන්නුවෙ සිසිර අයියා. එයා හැමවිටම එයාට පියල් අයියා උගන්වපු විදිහ අපට මතක් කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණයේ ගෞරවය ඒ ගුරුවරුන්ටත් අයිතියි.”

තමන්ගේ දක්ෂතාවයට උඩඟු නොවී, තම ගුරුවරුන්ව සිහිපත් කරන මෙවැනි වෛද්‍යවරුන් අපේ රටට සම්පතක්. එතුමා දුෂ්කර ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් කැපවී වැඩ කරන නියම “වැඩ්ඩෙක්”.

බලධාරීන්ගේ අවධානයට…

මා මේ සිද්ධිය ගැන ගරු නලින්ද ජයතිස්ස සහ හංසක විජේමුණි ඇමතිවරුන්ගේ අවධානයට නැවත යොමු කරනවා:

* හැමදාම වෛද්‍ය ආසිරිලා වැනි වීරයන්ට තමන්ගේ උපරිමයෙන් එහා ගොස් ජීවිත බේරන්නට සිදු විය යුතු නැහැ. මේ වැනි පර්යන්ත රෝහල්වල ඇති අඩුපාඩු කඩිනමින් සපුරාලීමට පියවර ගන්න.

* රටේ ගෞරවය රැකගත් වෛද්‍ය ආසිරි මහානාම මහතාව නිසි ලෙස අගය කරන්න.

රෝසි කැමති වුණා මේ කතාව ලෝකයටම කියන්න. අද ඇය සිනාසෙමින් නැවතත් අපේ රටට පැමිණ සිටින්නේ ඒ නිසයි. මේ සටහන බෙදාගෙන, අපේ රටේ සැබෑ වීරයන්ට දිරිගැන්වීමක් ලබා දෙමු!
වෛද්‍ය ආසිරි මහානාම ඇතුළු මුළු කණ්ඩායමටම අපේ ප්‍රණාමය!

(වෛද්‍ය .පියල් පෙරේරාගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here