හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.

0
295

 

 

මීගමුව මහා නගර සභාවේ 11වැනි නගරාධිපතිවරයා වු වර්ණකුළසූරිය නික්ලස් ප්‍රනාන්දු මහතා, හෘද රෝගී තත්වයක් හේතුවෙන්, මීගමුවෙි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11/03/2026) අලුයමදී මිය ගොස් තිබේ. වර්ෂ 1944 ජුනි මස 20 වැනි දින උපත ලැබූ ඔහු මෙලෙස මිය යන විට 82 වැනි විය එළඹීමට ආසන්නව සිටියේය.

වර්ෂ 1992 සිට 1996 දක්වා කාලය තුළ ඔහු මීගමුව මහා නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. 1983 වසරේදී ප්‍රථමයෙන්ම මීගමුව කුඩාපාඩුව කොට්ඨාශය, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකර ඔහු මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් බවට තේරී පත්විය. ඉන්පසු 1983 සිට 1992 දක්වා වූ කාලය තුළ ඔහු මීගමුව මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය හෙබවීය..IMG 20260311 180106

මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ එවකට නායකත්වය ඉසිලු ඩෙන්සිල් ප්‍රනාන්දු සහ සරච්චන්ද්‍ර ගුණරත්න යන දේශපාලඥයන්ගේ ආරාධනයෙන් සහ මඟ පෙන්වීමෙන් ක්‍රියාකාරි දේශපාලනයට පිවිසී නික්ලස් ප්‍රනාන්දු මහතා මීගමුව, කුඩාපාඩුව ප්‍රදේශයේ ව්‍යාපාරික පවුලකින් පැවත එන දරුවන් 07 දෙනකුගෙන් යුත් පවු‍ලක වැඩිමහල් දරුවා බවට පත් විය. වෘත්තියෙන් ඝනකාධිකාරීවරයෙක් වූ ඒ මහතා සිංහල ,ඉංග්‍රීසි, දමිල යන භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවිය හැකි මහත්මා ගුණයෙන් යුත් නිහතමානී ගති පැවැතුම් ඇති දේශපාලකයෙකු ලෙසද ඔහු කා අතරත් ජනප්‍රිය විය.

මීගමුව, පීටර් මෙන්ඩිස් මාවතේ පිහිටි මීගමුව මහා නගර සභාව විසින් පවත්වාගෙන යන පෙර පාසලේ එම ගොඩනැගිල්ල , නික්ලස් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් ගොඩනඟන ලද අතර ඔහු මීගමුව නගර සභා බල ප්‍රදේශය තුළ දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපනය සඳහා බෙහෙවින් ඇප කැප ව කටයුතු කළ නගරාධිපතිරයකු බවද ප්‍රකටය.

1976 මැයි මසයේදී වැල්ලවීදියේ ඇනිෂියා ප්‍රනාන්දු මෙනවිය සමඟ විවාහ දිවියට ඇතුළත් වූ නික්ලස් ප්‍රනාන්දු මහතාට දරුවන් තිදෙනෙක් වූ අතර ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වයස අවුරුදු 12 දී පමණ අකල් මරණයකට ලක් විය.

එලෙසම මීට වසර 08 කට පමණ පෙර ඔහුගේ දෙවෙනි දරුවා වූ දියණියද මියගිය අතර, ඔහුගේ බාල පුතු මේ වන විට ඩෙන්මාර්ක් රාජ්‍යයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව විඝණන නිලධාරියකු ලෙස සේවය කරයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා නිහතමානී සහ ගුණගරුක මෙන්ම වැදගත් දේශපාලකයෙකු ලෙස ප්‍රකට නික්ලස් ප්‍රනාන්දු මහතාගේ මෘත දේහය හෙට (12/03/2026) මධ්‍යාහන 12.00 ට මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන ශාලාවට රැගෙන එන අතර එහී පස්වරු 1.00 පමන වන තෙක් , එම කාලය තුළ දේහයට ගෞරව බුහුමන් දැක්විය හැක. ඉන්පසු දේහය ඒ මහතා, සිය බිරිඳ සමග පදිංචිව සිටි මීගමුව,කුඩාපාඩුව, පෙරේරා පෙදෙසේ ,අංක 25 දරණ ස්ථානයේ පිහිටි නිවසේ තැන්පත් කෙරේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 14 වැනි සෙනසුරාදා සවස 2.30 ට මීගමුව වැල්ලවීදිය, රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here