යුද්ධය හමුවේ මතුව එන බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුව සුදානම්ද?

0
241

ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය හමුවේ ලංකාවට බල පෑ හැකි බලශක්ති අර්බුදයට මුහුණ දීමට කල් තියා සූදානම් වීමට ගත යුතු පියවර සම්බන්ධ දැනුවත් සාකච්ඡාවක් ගොඩ නගනවා වෙනුවට දවස් 45 කට තෙල් තියෙනවා කියූ ආණ්ඩුව අන්තිම තෙල් බින්දුව ඉවර වෙන තෙක් නො සිට තෙල් මිල ඉහළ දැමීම ගැන චෝදනා කරන ඇතැම් දේශපාලනඥයින් ගේ අරමුණ ආණ්ඩුව කිච කිරීම පමණක් බව මිස විය හැකියාව පිළිබඳ බරපතළ අවබෝධයකින් කටයුතු කිරීම බව නොවේ.

යුද්ධය අවසන් කිරීම තීරණය කරන්නේ ට්‍රම්ප් විසින් නොව තමන් විසින් බව කීමෙන් ඉරානය අදහස් කළේ බල ශක්ති අර්බුදය වඩාත් තීව්‍ර කොට ලෝක අපවාදය ඇමරිකානු ඊශ්‍රායල අක්ෂය වෙත යොමු කිරීම බව ඊයේ සිට ගල්ෆ් කලාපයේ තෙල් නැව් සහ ඉරාකයේ, ඕමානයේ සහ බහරේනයේ තෙල් ගබඩා සහ පිරිපහදු වෙත එල්ල කල විනාශකාරී ප්‍රහාර වලින් පැහැදිලි වේ. බොර තෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා එනම් දෙගුණයකින් ඉහළ නැංවීම තම අරමුණ බව ඉරානය කියා තිබේ. ඉරානයේ යුද්ධෝපාය අප සියල්ලන්ට ම දැනෙන පරිහානිකාරී යුද්ධයක් (War of Attrition) බවට තමන්ට එරෙහි යුද්ධය පත් කිරීම මගින් ලෝකාපවාදය ඇමරිකා-ඊශ්‍රායල සන්ධානයට යොමු කිරීමයි.

ආණ්ඩුව ද ඇතිවීමට හැකි බලශක්ති අර්බුදය ගැන ජනතාව දැනුවත් කරමින් ඒ සඳහා සූදානම් වීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැන විවෘතව සාකච්ඡා කළ යුතුය. ඇතිවීමට හැකි තත්වය සලකා නවසීලන්ත රජය සතියකට නිශ්චිත දින ගණනක් පුද්ගලික කාර් රථ පැදවිය නොහැකි දින වසයෙන් ප්‍රකාශයට පත් කිරීම සලකා බලන අතර කාර්යාලයට නො ගොස් නිවෙස් වල සිට මාර්ගගත ක්‍රමයට වැඩ කිරීම වැඩි කිරීම, බල ශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම වැනි විධිවිධාන යොදමින් සිටී. ඒ අතර මැද පෙරදිග වෙනුවට මැලේසියාව සහ වියට්නාමය වැනි තෙල් නිපදවන ආසියාතික රටවලින් තෙල් ලබා ගැනීමට ද අප්‍රමාදව කටයුතු කළ යුතුය. මෙවැනි තත්වයන්ට ඔරොත්තු දීම සඳහා අවශ්‍ය තරම් තෙල් ගබඩා කර ගැනීමට පහසුකම් කල් තියා ඇති කිරීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නැති බැවින් ඒ සඳහා කඩිනම් සහ විකල්ප ක්‍රියා මාර්ග ගැනීම අවශ්‍යය වේ. පූර්වාපේක්ෂාවට ඇති හැකියාව ආණ්ඩුව පමණක් නොව විපක්ෂය ද මහජනතාවට දැනෙන ලෙස පෙන්නුම් කළ යුතුය.

(විජයානන්ද ජයවීරගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here