ශ්‍රී ලංකාව නිල වශයෙන් නිදහස සමරන පෙබරවාරි 4 දා යාපනය විශ්ව විද්‍යාලයේ බලධාරීන් විසින් නංවා තිබු සිංහ කොඩිය බිමට බා එදින දෙමළ ජනතාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන කළු කොඩියක් එසවීම සම්බන්ධයෙන් උපාධි අපේක්ෂකයන් තිදෙනකු පොලීසියට කැදවා පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කිරීම විරෝධයට ලක් වී තිබේ.
සිසුන් තිදෙනා පොලීසියට කැදවීම හෙළා දකිමින් 2026 මාර්තු 19 වැනිදා පන්ති වර්ජනය කර යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණ කිරීමට දෙමළ සිසුන් ක්‍රියා කර තිබුනේ ‘අරගල කරන සිසුන්ට තර්ජන කරන්න එපා, යුක්තිය වෙනුවෙන් කරන උද්ඝෝෂණ නවතින්නේ නැහැ.’ ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමිනි.
ජාතික නිදහස් දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ඔසවා තැබු ජාතික කොඩිය බිමට බා කළු පැහැති කොඩියක් එසවීම සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියෝග හා යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ නියෝග සහ උපදෙස් අනුව යාපනය මුලස්ථාන පොලීසියේ පිහිටි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සිදු කරනු ලබන විමර්ශනයක් සදහා ප්‍රකාශ සටහන් කර ගැනීමට ධර්මලිංගම් දජුර්ෂන්, දයාබරන් ලජීදරන්, ඒ. අබේසේක් යන සිසුන් තිදෙනාට 2026 මාර්තු 16 වැනිදා උදේ 9.30 ට එම කාර්යාංශයට පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දී තිබුනි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිසුන් තිදෙනාට එම ලිපිය ලැබී ඇත්තේ 2026 මාර්තු 17 වැනිදා බවයි.
ඒ අනුව ඔවුන් ප්‍රකාශ ලබා දීම සදහා මාර්තු 19 වැනිදා පැමිණිය හැකි බව යාපනය මුලස්ථාන පොලීසියේ පිහිටි කොට්ඨාස අපරාද විමර්ශන කාර්යාංශයට දැනුම් දී ඇති අතර පොලීසිය එම ඉල්ලීම අනුමත කර තිබේ.
ප්‍රකාශ ලබා දීම සදහා සිසුන් තිදෙනා පොලීසියට යන අවස්ථාවේ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් ද ඊට එක්ව සිටි අතර ඔහු මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ එදින පැය පහකට ආසන්න කාලයක් පොලීසිය සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර අවශ්‍ය වූවහොත් නැවත දිනයකදී කැදවීම් කරන බවත් දැනුම් දුන් බවයි.
මෙවර නිදහස් දිනයත් කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් 2026 පෙබරවාරි 4 වැනිදා කිලිනොච්චියේ සහ මඩකලපුවේදී විරෝධතා දියත් කළ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ට යාපනය විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් සිය සහයෝගය පළ කර තිබුනි.
theleader.lk












