ගෝලීය තෙල් වෙළඳපොළ තවත් අර්බුදයකට යවමින් යුක්‍රේනය ප්‍රධාන රුසියානු තෙල් පර්‍යන්ත දෙකකට ඊයේ රෑ පහර දුන්නා. බෝල්ටික් මුහුදේ පිහිටි රුසියාවේ විශාලතම තෙල් අපනයන පර්යන්තය වන ප්‍රිමෝර්ස්ක් (Primorsk) වෙත යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා.
වරායේ තෙල් ටැංකි සහ තෙල් පැටවීමේ යටිතල පහසුකම් වලට හානි වී විශාල ගින්නක් ඇතිවී ඇත. මේ හේතුවෙන් ප්‍රිමෝර්ස්ක් සහ කිලෝමීටර් 80ක් දකුණින් පිහිටි උස්ට්-ලුගා (Ust-Luga) යන වරායවල් දෙකෙහිම මෙහෙයුම් මේ වන අත්හිටුවීමට සිදු වී ඇත. එහි අවම වශයෙන් තෙල් ටැංකි හතරක් ගිනි ගනිමින් පවතින බව වාර්තා වේ.
යුක්රේනය විසින් යුක්රේන සීමාවේ සිට කිලෝමීටර් 1,400ක් ඈතින් පිහිටි උෆා (Ufa) හි Bashneft-Ufaneftekhim තෙල් පිරිපහදුවට ද පහර දී ඇත. මෙය වසරකට තෙල් ටොන් මිලියන 6 සිට 8 දක්වා ප්‍රමාණයක් පිරිපහදු කරන, රුසියානු හමුදාවට සෘජුවම ඉන්ධන සපයන මධ්‍යස්ථානයක්.
ඉරාන යුද්ධයට පෙර බටහිර සම්බාධක නිසා රුසියාවේ බලශක්ති ආදායම කොවිඩ් වසංගත සමයෙන් පසු අඩුම මට්ටමට වැටී තිබුණා. රුසියානු ‘Urals’ බොරතෙල් බැරලයක මිල ඩොලර් 40 දක්වා පහත වැටිලා තිබුණේ. ඉරාන යුද්ධය ආරම්භ වීමත් සමඟම සමඟ රුසියාවේ අයවැය ප්‍රශ්නය එක රැයකින් විසඳුණි. ඉරාන තෙල් සැපයුම නතර වීම නිසා ලෝක වෙළඳපොළේ රුසියානු තෙල් සඳහා ඉල්ලුම සහ මිල ඉහළ ගියා.
සති දෙකක් වගේ ඇතුළත රුසියාවේ පොසිල ඉන්ධන ආදායම යුරෝ බිලියන 7.7 ( ඇමරිකානු ඩොලර් බිලියන 8.92) දක්වා ඉහළ ගියා. ඒ අර්ථයෙන් මේ දක්වා මෙම යුද්ධයේ ප්‍රධානම ජයග්‍රාහකයෙක් රුසියාව.
ඇමරිකාවේ ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය විසින් ඉන්දියාවට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබා දීම (sanctions waiver) හරහා රුසියාවේ යුධ අරමුදල තවදුරටත් ශක්තිමත් වුණා. ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ වොෂින්ටනය විසින් රුසියාවේ යුධ අරමුදල පුරවලා ශක්තිමත් කරනවා කියලා. ඉරාන යුද්ධයෙන් ලැබෙන ලාභය යුක්රේනියානුවන් මරා දැමීමට රුසියාව යොදා ගන්නවා කියලා චෝදනා කලා.
ප්‍රිමෝර්ස්ක් කියන්නේ වසරකට තෙල් ටොන් මිලියන 60ක් හසුරුවන රුසියාවේ ප්‍රධාන මධ්‍යස්ථානයක්. චීනයට සහ ඉන්දියාවට රහසිගතව තෙල් ප්‍රවාහනය කරන නෞකා (dark fleet) භාවිතා කරන ප්‍රධාන වරාය මේ වරාය. මේ ස්ථානවලට පහර දීම හරහා යුක්රේනය සෘජුවම රුසියාවේ යුධ අරමුදලට පහර දී ඇත. ඒත් මේකේ බලපෑම මුළු ලෝකයටම දැනෙන්න නියමිතයි.
චානක රූපසිංහ













