තම ශ්‍රමයෙන් ලෝකය ගොඩනඟන වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් , හිමිකම් සහ ජීවිත අරගලයන් ස්මරණය කෙරෙන 140 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද දිනට (01/05/2026) යෙදී තිබේ.
මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් මෙරට ආණ්ඩු පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ රැසක් ද විවිධ වූ සිවිල් සංවිධාන සහ විවිධ වූ මහජන , කම්කරු සංවිධාන රැසක් ද දිවයින පුරා මැයි රැළි, පෙළපාලි සහ විවිධ උත්සව සංවිධානය කර තිබිණි.
ඒ අනුව මෙරට ප්‍රථමයෙන්ම ස්ථාපිත කළ නිදහස් වෙළඳ කලාපය හෙවත් නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපය පිහිටි කටුනායක ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් දැනට කම්කරු ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වන සංවිධාන කිහිපයක් එක්වී, ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් පෙළපාලියක් සහ රැළියක් අද පෙරවරුවේදී කටුනායක , ගුවන් තොටුපළ මාවතේ ( කැනඩා මිත්‍රත්ව මාවත) බෝධිරතනාරාම විහාරස්ථානය ආසන්නයේදී පවත්වන ලදී.
මෙරට කම්කරු ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාකාරී සංවිධානයන් වන ශ්‍රමාභිමාණී කේන්ද්‍රය, ඩාබිඳු සමූහිකය, ප්‍රජා දිරිය පදනම,
රෙඩ් සංවිධානය,
ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය, නිමි භාණ්ඩ ඇඟලුම් සහ රෙදි පිළි සේවක සංගමය
පුරවැසි කමිටුව සහ අපි කාන්තාවෝ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව මෙය සංවිධානය කර තිබිණි.
ඒ අනුව මෙම සංවිධාන නියෝජනය කරන කම්කරු සේවිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කටුනායක , ගුවන්තොටුපළ පිවිසුම් මංසන්ධියේ (18 කණුව ) පිහිටි, ඩාවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගනය අබියස සිට මෙම විශේෂ මැයි රැළිය ආරම්භ කළහ. එම රැළියේදී සමස්ත කම්කරු සේවිකාවන්ගේ මෙතෙක් නොවිසඳුනු ඉල්ලීම් ඉදිරිපත් කරමින් හා විවිධ සටන් පාඨ ප්‍රකාශ කරමින්, ද එලෙසම පුවරු ප්‍රදර්ශනය කරමින්ද මෙම විශේෂ පෙළපාලිය එතැන් සිට ගුවන්තොටුපළ මාවතේ ( කැනඩා මිත්‍රත්ව මාවත ) පිහිටි බෝධිරතනාරාම විහාරස්ථානය ආසන්නව ඇති එම රැළිය පැවැත්වුණු ස්ථානය වෙත ගමන් කළහ.

ඉන් පසුව , මෙම පෙළපාළිය සහ රැලිය සංවිධානය කළ සියලු සංවිධානවල මුල් පෙළේ නිලධාරීනියන් රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළහ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්‍යක්ෂිකා ආචාර්ය සේපාලි කෝට්ටගේ මහත්මිය මෙහිදී විශේෂ දෙසුමක් පැවැත්වු අතර ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ වැඩසටහන් අධ්‍යක්ෂිකා නීතිඥ ඉසුරී රොඩ්‍රිගූ මෙනවියද වැඩ කරන කාන්තාවන්ගේ ඉල්ලීම් ඇතුලත් කරමින් කම්කරු ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කළාය.
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කටුනායක දී අද දින මෙලෙස පවත්වනු ලැබු මෙම පෙළපාලිය සහ රැලිය සඳහා ශ්‍රමාභිමානි කේන්ද්‍රයේ ගරු නොයෙල් ක්‍රිස්ටීන් සහෝදර තුමිය ඇතුළු තවත් සංවිධාන ගණනාවක් නියෝජනය කරමින් නියෝජිත මහත්ම මහත්මාවීන් පිරිසක්ද ආරාධිතයන් ලෙස සහභාගී වූහ. එලෙසම බියගම සහ කොග්ගල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපවල ඇතුළු උතුරු නැගෙනහිර පළාත් වැනි දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ස්ථාපිත නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාප වල සේවය කරන සේවිකාවන් විශාල පිරිසක්ද මෙම පෙළපාලියට සහ ඊට සමගාමීව පැවැති රැළියට සහභාගි වූහ.
සටහන .-.
තුෂාර රෝහන් ප්‍රනාන්දු











