මීගමුව, කොප්පරාහංදිය විජේපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 02 වන වරට සංවිධානය කරන , මීපුර ශ්‍රී වෛශාක්‍ය මංගල්‍යය, ධර්ම විජය වෙසක් කලාපයේ, සර්වඥ ධාතු වන්දනා ප්‍රදර්ශනය සඳහා, ගෞරවනීය ධාතූන් වහන්සේලා එම මධ්‍යස්ථානය වෙත වැඩම කිරීම ඊයේ දින (29/05/2026) පෙරවරුවේදී උත්සවශ්‍රීයෙන් සිදු කරන ලදී. මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට මෙම ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා , විචිත්‍රවත් නර්තනාංග වලින් සපිරි අලංකාර පෙරහැරකින් විජේපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කිරීම සිදුවිණි. සාම්ප්‍රදායනුකූල නර්තනාංග කිහිපයකින් වර්ණවත් වූ මෙම අලංකාර පෙරහැර සඳහා පාසල් සිසු දරු දැරියන් පිරිසක්ද සහභාගි වූහ. මෙරටට ආවේණික වූ ඉපැරණි පෙරහැර සම්ප්‍රදායන්ට මූලිකත්වය දෙමින්, ගෞරවනීය ධාතූන් වහන්සේලා වැඩම කිරීමේ මෙම පෙරහැර සඳහා පලපුරුදු අලියෙකු ද එක් කර තිබීම විශේෂත්වයකි.
මීගමුව ප්‍රදේශයේ සැදැහැවත් බෞද්ධ උවැසි උවැසියෝ ද, ගරුතර ස්වාමින් වහන්සේලාද මෙම පෙරහැර සඳහා සහභාගි වූහ. ගිහි පිරිත් සජ්ජායනය මධ්‍යයේ ගමන් කළ මෙම පෙරහැර දැක බලා ගැනීමට විශාල පිරිසක් මග දෙපස රැස්ව සිටිනු දක්නට ලැබිණි. විශේෂයෙන්ම ඊයේ දින පෙරවරුවේ මීගමුව නගරයට පැමිණ සිටි විදෙස් සංචාරකයන් පිරිසක් මහත් උද්යෝගයකින් යුතුව මෙම පෙරහැර නරඹන ආකාරය දැකගත හැකි විය.
මීගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට මීගමුව නගරය හරහා කොප්පරා හන්දිය ඔස්සේ මෙම ගෞරවනීය ධාතූන් වහන්සේලා වැඩම කිරීමේ පෙරහැර, විජේපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගමන් කළහ. එම මධ්‍යස්ථානයේ පැවැති බෞද්ධාගමික වතාවත් වලින් පසු එම ගෞරවනීය ධාතූන් වහන්සේලා, මධ්‍යස්ථානයේ බුදු මැදුරේ තැන්පත් කළහ. ඒ අනුව අද දින ( 30/05/2026) සිට මෙම වෙසක් කලාපයට පැමිණෙන ජනතාවට, විජේපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී , මෙම ගෞරවනීය ධාතූන් වහන්සේලා වන්දනාමාන කරමින් ,දැක බලා ගැනීමට අවස්ථාව සැලසේ.
ඒ අනුව මැයි මස 29,30,31, සහ එළඹෙන ජුනි මස 01, සහ 02 යන දින 05 ක් පුරාවට මෙම වෙසක් කලාපය පැවැත්වීමට නියමිතව ඇත.
එලෙසම මෙම වෙසක් කලාපය තුළ දර්ශණීය තොරණ, අලංකාරවත් පහන් කූඩු සහ බුද්ධාලම්බන ප්‍රීතිය දනවන වෙසක් බැති ගී ගායනා ප්‍රසංගයක්ද මෙම වෙසක් කලාපයට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. තවද වෙසක් කලාපය පැවැත්වෙන සෑම දිනකම බත් දන්සැල් ඇතුළු විවිධ වූ දන්සැල් පැවැත්වීමටද එම සංවිධායක මණ්ඩලය කටයුතු සංවිධානය කර ඇති අතර , මීගමුව පුරවරයේ සහ අවට ප්‍රදේශවල ද බෞද්ධ සැදැහැවතුන් ඇතුළු බෞද්ධ නොවන ජනතාවටද මෙම වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන ලෙස එම සංවිධායක මණ්ඩලය සුහද සිතින් ආරාධනා කර සිටී.
සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු








































