මීගමුව බන්ධනාගාරයේ සැඟවුණු, සත් දරු මවකගේ, නොනිමි කඳුළු කතාව. …

0
657

 

රිදීගම නම් සශ්‍රීක ගම්මානයේ සුන්දරත්වය විඳිමින් හැදී වැඩුණු රත්නායක මුදියන්සේලාගේ චාන්දනී කුමාරි නම් ඇය, අද වන විට 37 හැවිරිදි වියේ පසුවන අසරණ මවකි. තරුණ දැරියකව සිටියදීම, එනම් යන්තම් 14 හැවිරිදි වියට එළඹීමත් සමඟම ප්‍රේම සම්බන්ධයක් නිසා ඇය මීගමුව, පෙරියමුල්ලේ පදිංචි මොහොමඩ් නිෂාම් මොහොමඩ් ෆස්ලාන් නැමැති එවකට 17 වියති මුස්ලිම් ජාතික තරුණයකු සමඟ 2005 වසරේදී යුග දිවියට එළඹුණාය. සිය දෙමව්පියන්, ඥාතීන් ඇතුළු තම පවුලේ සාමාජිකයන් ද එලෙසම තම ගමබිම් ද හැර දමා ආදරය වෙනුවෙන් නොදන්නා පළාතකට පියනැගූ ඇය, නොදැන සිටියා මෙතරම් අවාසනාවක් තමන් පසුපස හඹා එන බව.

මීගමුව, පෙරියමුල්ලේ, අල්හිලාල් පාසල සමීපයේ පදිංචි වූ ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගලා ගියේය. ෆස්ලාන්, ප්‍රදේශයේ ප්‍රසිද්ධ
“” සමීහා “” නැමැති හෝටලයේ අරක්කැමියෙකු ලෙස රැකියාව කළ අතර, චාන්දනී දරුවන් සත් දෙනෙකුට මවක් වූවාය. වැඩිමහල් පුතුට දැන් වයස අවුරුදු 20 ක් වන අතර, 18 සහ 16 හැවිරිදි පුතුන් දෙදෙනෙකුද, 14 හැවිරිදි දියණියකද, 11 හැවිරිදි පුතෙකුද, වයස අවුරුදු 3, 1/2 ක සිඟිති දියණියකද, සහ මාස 02 ක් වයසැති බාලම දියණියකද ඔවුනට සිටී. මේ දරුවන්ගෙන් 14 හැවිරිදි දියණිය සහ 11 හැවිරිදි පුතු දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද අධ්‍යාපනය ලබමින් සිටිති.

නමුත් මේ සාමකාමී ජීවිතය උඩු යටිකුරු වූයේ මීට මාස 10 කට පමණ පෙරය. ෆස්ලාන් නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත් විය. විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනතේ 54 වන වගන්තිය යටතේ චෝදනා ලැබූ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මීගමුව බන්ධනාගාරයේය. රස පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු ඔහුට ඇප ලබා ගැනීමට නොහැකි විය.

ෆස්ලාන් බන්ධනාගාරයේ සිටියදීම, මීට මාස 02කට පෙර ඔවුන්ගේ සත්වැනි දරුවා, ලෙස හුරුබුහුටි බිලිඳියක් මෙලොව එළිය දුටුවාය. පියාට තම බාල දියණිය දැක ගැනීමට හැකි වූයේ අවස්ථා දෙකකදී පමණි. නිදහසේ සිය දියණිය වඩාගෙන, සිප වැළඳගෙන ආදරය කරන්නට හෝ ඔහුට අවස්ථාවක් නොලැබුණි.

පසුගිය ජූලි මස 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඒ අවාසනාවන්ත ගැටුමෙන්, වෙඩි උණ්ඩයකට බිලිව, 40 හැවිරිදි වියේදී ෆස්ලාන් අකාලයේ මිය ගියේය. ඔහුට , ඔහුගේ මරණය වේදනාවක් නොවූවත්, ඔහු නොමැති වේදනාව චාන්දනීටත්, දරුවන්ටත් දරා ගත නොහැකි බරකි.

අද චාන්දනී දරුවන් සත් දෙනෙකු සමඟ මෙලොව තනි වී ඇත. තමන් ආදරය කළ සැමියා වෙනුවෙන් තම, දෙමාපියන්, ඥාතීන් සහ තමා ජීවත් වූ ගම ද හැර දමා පැමිණි ඇය, අද අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇත. කිසිදු ආදායමක් නොමැති ඇයට අද හව්හරණක් වී
ඇත්තේ යමෙකුගෙන් යමක් ඉල්ලාගෙන දිවි ගෙවන ඇයට ඥාතිවන එක් වයෝවෘද්ධ මිත්තනියක් පමණි. ඇය පවසන්නේ මෙතැන් පටන් ඇගේ දිවිය හැඬු කඳුළින් ගෙවන්නට සිදුවන බවකි.

චාන්දනී වගකිව යුතු බලධාරීන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිරපරාදේ මියගිය තම සැමියා වෙනුවෙන්, තමන්ටත්, තම දරුවන්ටත් ජීවත්වීමටත්, පාසල් අධ්‍යාපනය ලබන දරු දෙදෙනා වෙනුවෙන් හෝ යම් සාධාරණයක් ඉටු කරන ලෙසයි. පසුගිය දිනකදී ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ඉල්ලීම පරිදි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මීගමුව බන්ධනාගාරයේ සිදුවූ එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් වන නඩු විභාගයේදී ඇයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටීමට පැමිණ තිබුණි.

දෙමාපියන්ගේ වැරදි වලට කුඩා දරුවන් වගකිව යුතු නැතැයි බොහෝ දෙනාගේ අදහස වී ඇත. එබැවින්, චාන්දනී වෙනුවෙන් නොව, මේ අහිංසක දරුවන් වෙනුවෙන් හෝ සාධාරණයක් ඉටු විය යුතු බව සමාජයේ ඉල්ලීමයි. සමාජයේ සමහර උදවිය ඇය දෙස කෙලෙස බලාවිදැයි අප නොදනිමු. එහෙත් අප ඉල්ලා සිටින්නේ, මනුෂ්‍යත්වය පෙරදැරිවම ඇය සහ ඇගේ දරුවන් දෙස බැලිය යුතු බවයි.

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here