…..
මීගමුවේ උපත ලබා, මීගමුවේම වාසය කල , සිංහළ සිනමාවේ රිදී තිරය පසුපස සිට, අඩ සිය වසකටත් වඩා වැඩි කාලයක් හෙවත් වසර 60 කටත් වඩා වැඩි කාලයක් පුරා නිහඬව විශිෂ්ඨ සේවාවක් ඉටු කළ, ප්‍රවීණ සිනමා සංස්කරණ ශිල්පීයෙකු සහ සිනමා කලාකරුවෙකු වන බර්නාඩ් රෙජිනෝල්ඩ් මහතා වසර 82 ක් ආයු වළඳා , පසුගිය 30 වැනි (30/07/2026) දින සිය දිවි සැරියෙන් සමු ගෙන තිබේ.
මේ වන විට ඔහුගේ දේහය , මීගමුව, පෙරියමුල්ල, ශාන්ත ලාසරස් පාරේ , අංක 11 දරණ ස්ථනයේ පිහිටි, ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.
මීගමුව නැමැති කලා පුරවරයේ සිට මෙරට සිංහළ සිනමාවේ ගමන් මඟට මහඟු දායකත්වයක් සැපයූ බර්නාඩ් රෙජිනෝල්ඩ් මහතා, 1944 මැයි 27 වන දින මීගමුවේදී උපත ලබා ඇත. මීගමුව සාන්ත මරියා මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ පසුව උසස් පෙල අධ්‍යාපනය සඳහා, කොළඹ සාන්ත පේදුරු මහා විද්‍යාලයට ඇතුලත්ව ඇත. කුඩා කළ සිටම වෛද්‍යවරයෙකු වීමේ සිහිනයක් ඔහු සතුව තිබූ අතර, ඒ සඳහා උසස් පෙළට විද්‍යා විෂයයන් පවා හැදෑරීය. එහෙත්, අවාසනාවන්ත හදිසි අසනීප තත්ත්වයක් හමුවේ ඔහුගේ වැඩිදුර අධ්‍යාපන සිහිනය අත්හැරීමට ඔහුට සිදුවිය. කෙසේ වෙතත්, ඔහුගේ දෛවය ඔහුට වෙනත් මාවතක් විවර කළේය – ඒ සිනමා කලාවයි.
දකෂ චරිතාංග නළුවෙකු වු ඔහුගේ පියා වන එ.එම්.ඩී. ජෝශප් මහතා “අහංකාර ස්ත්‍රිය” චිත්‍රපටයේ රඟපාන සමයේදී, කුඩා බර්නාඩ් රෙජනෝල්ඩ් , සිය පියා සමඟ සිනමා ලෝකයට පිවිසියේය. එවකට ක්ෂේත්‍රයේ සිටි මස්තාන්, නාරායන්, තංගප්පන්, හියුගෝ මාස්ටර්, එ.බී. රාජ් වැනි දැවැන්තයන්ගේ සෙනෙහස හා මඟ පෙන්වීම ඔහුට නොඅඩුව ලැබුණි. ඔහුගේ මව වූ මේරි මැගිලින් දල්පදාදු මහත්මිය ද ඔහුගේ සිනමා කටයුතු සඳහා විශාල සහයෝගයක් සහ දායකත්වයක් ලබා දුන්නාය
මේ අතර රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට සහාය සංස්කාරක ශිල්පියෙකු අවශ්‍ය බවට ගැසට් පත්‍රයේ දැන්වීමක් පළවීම, බර්නාඩ් මහතාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් විය. සම්මුඛ පරීක්ෂණයට පෙර, පියාගේ මැදිහත්වීමෙන්, හියුගෝ මාස්ටර්ගේ උපදෙස් පරිදි විජය චිත්‍රාගාරයේදී ඔහු පුහුණුවක් ලැබීය. එවකට සිංහළ සිනමාවේ හිමිකරු ලෙස නම් දරා සිටි කේ. ගුණරත්නම් මහතා, හියුගෝ මාස්ටර්ගේ වචනයට ගරු කරමින් ඔහුට එම වටිනා අවස්ථාව ලබාදුන්නේය. සම්මුඛ පරීක්ෂණය අවලංගු වුවද, ඔහු මාස 06ක් වැටුප් නොමැතිව විජය චිත්‍රාගාරයේ සහාය සංස්කාරක ශිල්පියෙකු ලෙස අසමසම කැපවීමකින් සේවය කළේය.
ඒ අනුව ඔහු සංස්කරණය කළ ප්‍රථම චිත්‍රපටය වූයේ “සූරයන්ගෙත් සූරයා” යි. ඉන්පසුව “එදත් සූරයා අදත් සූරයා”, “සූරයා සූරයාමයි”, “හොඳම වෙලාව”, “ආවා සොයා ආදරේ”, “හිඟන කොල්ලා” වැනි සිනමා කෘති රැසක් ඇතුළුව, චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක් සංස්කරණය කිරීමේ ගෞරවය ඔහු සතු වේ. එස්. රාමනාදන්, හියුගෝ මාස්ටර්, රොක්සාමි, මස්තාන් වැනි ප්‍රවීණයන්ගේ ආශිර්වාදය හා අනුග්‍රහය ඔහුගේ සිනමා ගමනට මහත් ශක්තියක් විය.
චිත්‍රපට සංස්කරණයට අමතරව, බර්නාඩ් රෙජිනෝල්ඩ් මහතා නළුවෙකු ලෙස ද සිය දක්ෂතා ප්‍රදර්ශනය කළේය. 1960 දී “සුනිලා” චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතය රඟපෑවේ ඔහුයි. හෙන්රි චන්ද්‍රවංශ මහතා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය, මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වීම ද විශේෂත්වයකි. “කැලෑ කෙල්ල” චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් ද දායක වූ ඔහු, සෑම විටම චිත්‍රපට නිෂ්පාදනයේ කාර්මික අංශයට වැඩි කැමැත්තක් දැක්වූ අතර, ඊට මහත් දායකත්වයක් ද ලබා දුන්නේය.
එලෙසම ඔහුගේ ආදරනීය බිරිඳ හෙලන් ජයමාන්න මහත්මියද ඔහුගේ මෙම කලා කටයුතු සඳහා විශාල ශක්තියක් ලබාදුන්නාය. තවද මේ සියලු කලා කටයුතු අතරේ තම දියණියටත් , පුතුටත් සෙනෙහෙබර පියෙකුගෙන් ඉටු විය යුතු ඒ සියළු යුතුකම් සහ වගකීම් නොපිරිහෙළා ඉටු කරලීමට බර්නාඩ් රෙජනෝල්ඩ් මහතා සෑම විටම කටයුතු කළේය.
ජාත්‍යන්තරය තුළ තිරගත කිරීම සඳහා දේශීය සංස්කෘතිය ගැබ්වූ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ උදාර බලාපොරොත්තුවක් ඔහු සතුව තිබුණි. එම සිහිනය යථාර්ථයක් කර ගැනීමට ඔහුට නොහැකි වුවත්, වර්තමානය වන විට මෙරට නිර්මාණය වූ සිංහල චිත්‍රපට රැසක් ජාත්‍යන්තරය තුළ ප්‍රදර්ශනය වීම සහ ගෞරවයට පාත්‍රවීම ඔහුට යම් අස්වැසිල්ලක්ම ව්ය.
තවද ඔහු මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ඇති, මීගමුව සංස්කෘතික බල මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස 2006 වසරේ සිට 2022 වසර දක්වා වූ , වසර 16 ක කාලයක් පුරා අති විශිෂ්ඨ සේවාවක් සිදු කළේය.
වසර 60කට වැඩි කාලයක් ලාංකේය සිංහළ සිනමාව වෙනුවෙන් සිදු කල එම අසමසම කාර්යයභාර්ය වෙනුවෙන් සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබු බර්නාඩ් රෙජනෝල්ඩ් මහතා, වර්ෂ 2015 දී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් පිරිනැමු ” කලා භූෂණ ” සම්මානයෙන් ද පිදුම් ලැබීය.
ඔහු අප අතරින් සමුගත්තද, ඔහු විසින් ලංකේය සිනමා කර්මාන්තයට කරන ලද සේවය සදා අමරණීය වනු නොඅනුමානය. බර්නාඩ් රෙජිනෝල්ඩ් මහතා සිංහල සිනමාවට ලබා දුන් එම අද්විතීය සහ කලාත්මක දායකත්වය සදාකාලිකවම අප සිත් සතන්හි රැඳී පවතිනු ඇත.
ඔහුට මීගමුවේ ජනතාව වෙනුවෙන් ද
ලංකේය සිනමාවට ලැදි සමස්ත රසික සහෘදයන් වෙනුවෙන්ද සඟ මොක් සුව ප්‍රාර්ථනා කරමු.
බර්නඩ් රෙජිනෝල්ඩ් මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ,මීගමුව පොදු සුසාන භුමියේදී අද දින ( 01/08/2026) සවස 4.00 ට සිදු කිරීමට නියමිතව ඇත.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .

















