මව්බිමට රන් සිහිනය යථාර්ථයක් කළ රුමේෂ් සහ ඔහුගේ පුහුණුකරු හරසර මැද දිවයිනට …

0
48

 

පසුගිය ජුලි 23 දින සිට අගෝස්තු 02 දින දක්වා ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝ (Glasgow) නගරයේ පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග අද (04/08/2026) සවස මව්බිම වෙත පැමිණියේය. ස්කොට්ලන්තයේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එම්රේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් රුමේෂ් තරංග ඇතුළු පිරිස අද සවස 4.50 ට පමන, කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ. ඒ අනුව එම ක්‍රීඩා උළෙලේදී මීටර 89.75 ක විශිෂ්ට දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ලොව ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පරාජයට පත් කිරීමට ඔහු සමත් විය.

රුමේෂ්ගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට එක් කළ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් ලැබුණේ වසර 20 කට පසුව වීමද විශේෂත්වයකි.

රුමේෂ් තරංග ගේ මෙම සුවිශේෂී, ඓතිහාසික ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධාන ශක්තිය වන, මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොඳම හෙල්ල විසිකිරීමේ පුහුණුකරු බවට පත්ව සිටින මීගමුව ප්‍රදේශයේ වෙසෙන, ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතා ද අද රුමේෂ් තරංග සමඟින් දිවයිනට පැමිණියේය.

මීට අමතරව, මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරා කවපෙත්ත විසිකිරීමේ (F42-44 / F61-64) ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් පාලිත බණ්ඩාර, පැරා මළල ක්‍රීඩකයාද අද රුමේෂ් සහ ඔහුගේ පුහුණුකරු ඇතුළු එම කන්ඩායම සමඟින් දිවයිනට පැමිණියාහ. දේශීය මෙන්ම ජාත්‍යන්තර පිටියේ ද අපේ රටට සුවිසල් කීර්තියක් අත්කර දුන් මේ අති විශිෂ්ඨ පුහුණුකරු, රන් පදක්කම්ලාභී රුමේෂ් තරංග සහ රිදී පදක්කම්ලාභී පාලිත බණ්ඩාර ඇතුළු එම පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ , ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබණි.

මෙම අවස්ථාවට රුමේෂ් තරංගගේ සහ ඔහුගේ පුහුණුකරු, මීගමුවේ , ටෝනි ප්‍රසන්න මහතාගේත් එලෙසම පාලිත බණ්ඩාරගේ දෙමාපියන් , ඔවුන්ගේ පවුල් වල සමීපතම ඥාතීන් , මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් , ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ නිලධාරීන් පිරිසක් සහ ඔවුන් සේවය කරන ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here