42 වන මිලාදුන් නබි ජාතික මහෝත්සවය සඳහා මීගමුව පුරවරය සූදානම්.

0
49

….

42 වන මිලාදුන් නබි ජාතික මහෝත්සවය හෙට දින (26/08/2026) සවස මීගමුව, පෙරියමුල්ල අල්-හිලාල් විද්‍යාලීය පරිශ්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සංවිධානය කෙරෙමින් පවතී. “සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම” යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙවර මිලාදුන් නබි ජාතික මහෝත්සවය වසර 28කට පසු ගම්පහ දිස්ත්‍රික්කයේ, විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසු සාමය තහවුරු කිරීමේ අරමුණින් මීගමුව පුරවරයේදී පැවැත්වීම විශේෂත්වයකි.

මිලාදුන් නබි මහෝත්සවය ඉස්ලාම් ධර්මයේ ආරම්භකයා වූ මුහම්මද් නබි නායක තුමන්ගේ, ක්‍රිස්තු වර්ෂ අනුව ගත්විට 1456 වන ජන්ම දිනය (ක්‍රි.ව. 570 දී උපත ලැබූ) සමරනු ලබයි. එලෙසම මීට දශක 04කට පමණ පෙර එක්සත් ජාතික පක්ෂයේ ,ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති සමයේ මෙය, මෙරට, ජාතික මහෝත්සවයක් බවට නම් කළ බවද වාර්තා විය.

මුහම්මද් නබිතුමා (ක්‍රි.ව. 570-632) සෞදි අරාබියේ මක්කා නගරයේ උපත ලබා, මදීනා නගරයේදී අභාවප්‍රාප්ත විය. එතුමා සාමය, සතුට, සහජීවනය සහ මනුෂ්‍යත්වය පදනම් කරගත් ජීවන ක්‍රමයක් ලොවට දායාද කළේය. ළමා වියේදී පියා සහ මව අහිමි වූ එතුමා සීයාගේ සහ ලොකු පියා වන අබු තාලිබ්ගේ රැකවරණය යටතේ හැදී වැඩුණි. අවංක ව්‍යාපාරිකයෙකු ලෙස කීර්තියක් අත්කරගත් එතුමා කදීජා තුමිය සමඟ විවාහ විය.

වයස අවුරුදු 40 දී, හීරා ගුහාවේ භාවනා කරමින් සිටියදී, ජිබ්රීල් දේවදූතයා එතුමාට ඉස්ලාම් ධර්මයේ මුල් වැකි අනාවරණය කළේය. මෙලෙස අල්ලාහ් දෙවියන්ගේ දූතයා ලෙස තේරී පත් වූ මුහම්මද් නබිතුමා මක්කා නගරයේ ජනතාවට ඉස්ලාම් ධර්මය දේශනා කිරීමට පටන් ගත්තේය. අද වන විට ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ඉස්ලාම් ආගම අදහන අතර, ඔවුන් සහෝදරත්වයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත් වෙති. රමලාන් මාසයේ එක් රාත්‍රියකදී දේව දූතයා වීමේ භාග්‍යය ලැබූ එතුමාට, අවුරුදු 23 ක් පුරා ශුද්ධ වූ කුර්ආනය පහළ විය. කුර්ආනය මුස්ලිම්වරුන්ට යහපත් දිවි පෙවෙතක් සඳහා අදටත් මතු අනාගතයටත් මඟ පෙන්වන මාර්ගෝපදේශකයක් බවට පත්ව ඇත.
ඒ අනුව හෙට (26/08/2026) මීගමුව පුරවරයේ දී පැවැත්වෙන 42 වන ජාතික මිලාදුන් නබී මහෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ නන් දෙසින් ඉස්ලාමීය භක්තිකයන් දස දහස් ගණනින් සහභාගි වීමට නියමිතව ඇත.

සටහන.-.
තුෂාර රෝහන් ප්‍රනාන්දු.

ඡායාරූප .-.
අකිලා නදීෂානි බණ්ඩාර.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here