මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ප්‍රධාන ජේලර් ඇතුළු නිලධාරීන් 20 කට නොතීසි. …

0
107

 

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුල සිදුවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ දින (28/08/2026) යලිත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි . මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය එහිදී , මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 20 දෙනෙකුට ලබන සැප්තැම්බර් 8 වැනිදා (08/09/2026) සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කිරීමට නියෝග කලාය. මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගිය නඩු වාරයේදී සැකකරුවන් 70 දෙනෙකු නම් කර තිබූ අතර, ඊයේ දින සැකකරු අංක 01 සිට 06 දක්වා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, සෞඛ්‍ය හේතූන් සහ වෙනත් නඩු කටයුතු හේතුවෙන් සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් නොකළ අතර, ඔවුන් සම්බන්ධයෙන් බන්ධනාගාරය විසින් අධිකරණයට ලිපි ඉදිරිපත් කරනු ලැබීය.

ඉදිරිපත් කළ සැකකරුවන් සිව්දෙනා සහ ඔවුන් හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් සිව්දෙනෙකු පොලිස් හා විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ, අධිකරණ නියෝග පරිදි සම්පූර්ණයෙන් රෙදි වලින් ආවරණය කර අධිකරණයට රැගෙන එනු ලැබීය. මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගයෙන් පසුව, දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්විණි. එහිදී ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් සිව්දෙනා විසින් සැකකරුවන් හඳුනාගන්නා ලදී.

යුක්තිය පතා හඬක්. ..

නඩු විභාගය අතරතුර, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය. “”ස්වාමීනි, මෙම සිදුවීමෙන් විශාල රැඳවියන් පිරිසක් වෙඩි තැබීම්වලින් මිය ගියා. මෙම වෙඩි තැබීම් සිදු වූයේ කෙසේද, කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන් සාක්ෂි හෝ සැකකරුවන් නම් කර නැහැ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවල සඳහන් වන්නේ වෙඩි තැබීම පාලනය කළ නොහැකි අවස්ථාවලදී මරණීය තුවාල සිදු නොවන ආකාරයට වෙඩි තැබීමට හැකි බවයි. නමුත් මෙහිදී එසේ සිදු වූ බවක් පෙනෙන්නේ නැහැ. මරණය ඇති කිරීමටම කළා වගේ අපිට පෙනෙන්නේ. අපි දුටුවා බන්ධනාගාර දොර කවුළුවලින් වෙඩි තියනවා. 294 වගන්තිය ප්‍රකාරව මෙය මිනීමැරීමේ අපරාධයක්. ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙනවාද යන්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යම් බලපෑමක් තිබේද යන්න ඔබතුමිය සලකා බැලිය යුතුයි. රැඳවියන්ගේ ඥාතීන් යුක්තිය ඉටුවන තෙක් බලා සිටිනවා. මෙම සිද්ධියේදී රැඳවියන්ට වෙඩි තැබීම් සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපි ඉල්ලා සිටිනවා.””

විමර්ශන ප්‍රගතිය. …

ඊට ප්‍රතිචාර දක්වමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් දුලංග මහතා පැවසුවේ, ගැටුම අතරතුර රැඳවියන් විසින් අවි ගබඩාව කඩා, අවි 32ක් අත්පත් කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. “ස්වාමීනි, එම ස්ථානයේ රජයේ රස පරීක්ෂක ඇතුළු විශාල පිරිසක් ස්ථානීය පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒවායේ වාර්තා ලැබුණු පසු තමයි වෙඩි තැබීම් සිදු වී ඇත්තේ නිලධාරීන්ගේ ගිනි අවිවලින්ද, රැඳවියන්ගේ ගිනි අවිවලින්ද යන්න නිගමනය කළ හැක්කේ.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 2100 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, තවත් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවත්ය. මීට අමතරව, කලින් නම් කර තිබූ සැකකරුවන් 70 දෙනාගෙන් 35 සහ 36 වන සැකකරුවන් මිය ගොස් ඇති බවත්, 43 වන සැකකරු 69 වන සැකකරු ලෙස මුද්‍රණ දෝෂයකින් සටහන් වී ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, දැනට සැකකරුවන් 67ක් නම් කර සිටී.

අධිකරණ නියෝග සහ ඉදිරි පියවර. ….

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග ලබා දුන් අතර, සැකකරුවන් 67 දෙනා නිල මැදිරියේ සිට “සූම්” (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කළාය. එමෙන්ම, සැකකරුවන් එළඹෙන සැප්තැම්බර් 08 වැනිදා (08/09/2026) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට සැකකරු අංක 1 සිට 6 දක්වා සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙසත්, එදිනටත්”සූම්” ( Zoom) තාක්ෂණය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය. හඳුනාගැනීමේ පෙරට්ටු කටයුතු කඩිනම් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට අවධාරණය කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක දුලිත මධුරංග, උප පොලිස් පරීක්ෂක මධුසංක, පොලිස් කොස්තාපල් දුලංග ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළහ.

මෙස නඩුකරයට අදාල මීළඟ නඩු විභාගය එලඹෙන සැප්තැම්බර් 08 වැනිදා (08/09/2026) පැවැත්වීමට නියමිතව ඇත. ..

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here