මීගමුව, පෙරියමුල්ලේ බස් හෝල්ට් එක ඉවත් කිරීමට එරෙහිව ජනතා විරෝධය.

0
6

 ..

මීගමුව, පෙරියමුල්ල, ප්‍රදේශයේ ජනතාව අද දින ( 04/09/2026 ) සවස කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ ඩිපෝ හන්දියට එක්රැස් වී, වසර 15 ක් පමන කාලයක් පුරා ඔවුන්ට සෙවන දුන් බස් නැවතුම් ස්ථානය හෙවත් බස් හෝල්ට් එක අද උදෑසන මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) නිලධාරීන් විසින් ඉවත් කරගෙන යාම සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් පැවැත්වූහ. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙම බස් නැවතුම් ස්ථානය ඉවත් කිරීම ප්‍රදේශවාසීන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

ජනතාවගේ සෙවණ සහ පහසුව නැතිවෙයි…

හලාවත, පුත්තලම, වවුනියාව, මන්නාරම, යාපනය වැනි දුර බැහැර ප්‍රදේශවලට මෙන්ම දංකොටුව, නාත්තන්ඩිය, කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, කුරුණෑගල වැනි ප්‍රදේශවලට ධාවනය වන බස් රථ පැමිණෙන තෙක් බලා සිටින දහස් ගණනක් මගීන්ට මෙම බස් නැවතුම් සථානය විශාල පහසුවක් විය. විශේෂයෙන්ම 24 පැය පුරා විවෘතව පවතින හෝටල් හා ආපනශාලා රැසක් ඇති පෙරියමුල්ල ප්‍රදේශයේ සේවය කරන අයට, දුර ගමන් සේවා බස් රථ පැමිණෙන තුරු රැඳී සිටීමට මෙය අත්‍යවශ්‍ය පහසුකමක් විය. අධික හිරු එළියෙන් සහ වැසි සහිත කාලගුණයෙන් ආරක්ෂාවීමට සෙවණක් වූ මෙය, පාසල් යන දුවා දරුවන්ටද මහත් ප්‍රයෝජනයක් ගෙන දුන්නේය.

මෙල්වා (MELWA) ආයතනයේ දායකත්වය…

ප්‍රදේශවාසීන් පවසන්නේ, ඔවුන් කළ ඉල්ලීමකට අනුව, මෙල්වා ( MELWA ) ව්‍යාපාරික ආයතනය විසින් වසර ගණනාවකට පෙර රුපියල් ලක්ෂ ගණනක් වැය කරමින්, මගීන්ට අසුන් ගත හැකි අයුරින් නවීකරණය කරන ලද මෙය, ඉතා හොඳ තත්ත්වයේ පැවති බස් නැවතුම් ස්ථානයක් හෙවත් බස් හෝල්ට් එකක් බවයි. එපමණක් නොව, මෙම බස් නැවතුම් ස්ථානය සඳහා වසර ගණනාවක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) මුදලක් ගෙවා ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

කිසිදු පූර්ව දැනුම් දීමක් හෝ නොමැතිව ඉවත් කිරීම …..

බස් නැවතුම් ස්ථානය හෙවත් බස් හෝල්ට් එක ඉවත් කිරීමට කිසිදු නිශ්චිත හේතුවක් මාර්ග සංවර්ධන අධිකාරියේ මීගමුව කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට හෝ මෙල්වා ආයතනයට දැනුම් දී නොමැති බව විරෝධතාකරුවෝ පවසති. ඇතැමුන් සැක පළ කරන්නේ, මෙල්වා ආයතනයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වී තිබීම හේතුවෙන් ,වෙනත් ව්‍යාපාරික ආයතනයකට ද එලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරනයට අවස්ථාවක් සැලසීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් විසින් මෙය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

“මෙය පටු ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් ජනතාවට මහත් ප්‍රයෝජනයක් වූ දෙයක් අමානුෂික ලෙස ඉවත් කිරීමක්” යැයි මෙහිදී විරෝධතාකරුවෙක් ඉතා දැඩි ස්වරයෙන් පැවසීය.

වායු සමනය කළ , නව බස් නැවතුම් ස්ථානයක් ???….

මෙම උද්ඝෝෂණයට සහභාගී වූ තවත් අයෙකු ප්‍රකාශ කළේ, වෙනත් ව්‍යාපාරික ආයතනයක වෙළඳ දැන්වීම් සහිත, වායු සමනය කළ නව බස් නැවතුම් ස්ථානයක් හෙවත් නව බස් හෝල්ට් එකක් ස්ථාපනය කිරීම සඳහා මෙය ඉවත් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි. කෙසේ වෙතත්, එවැනි නව බස් නැවතුම් ස්ථානයක් ලැබීමට තවත් කාලයක් ගත වනු ඇති බවත්, එලෙස තමන්ට දැනගන්ට ලැබුණු එම තොරතුරේ කිසිදු වගකිව යුතු ස්ථිර භාවයක් නොමැති නිසා එවැනි දෙයක් සිදුවීම සැක සහිත බව ද ඔහු මෙහිදී පැවසීය.

අහිතකර දැඩි කාලගුණික තත්ත්වයන් හමුවේ ජනතාව මහත් සේ පීඩාවට….

එල්-නිනෝ කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා පවතින දැඩි අව් රශ්මිය තුළ, බස් රථ පැමිණෙන තුරු සෙවණක් නොමැතිව සිටීමට , සිදුවීම මගී ජනතාවට දැඩි කායික හා මානසික පීඩාවක් ගෙන දෙන බව උද්ඝෝෂණයට එක්වූ කාන්තාවක් සඳහන් කළාය.

මාර්ග සංවර්ධන අධිකාරියේ නොදැනුවත්කම ? ….

මේ සම්බන්ධයෙන් මීගමුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයාගෙන් මාධ්‍යවේදියෙකු විමසූ විට, ඔහු ප්‍රකාශ කර තිබුනේ, මෙම බස් නැවතුම් ස්ථානය ඉවත් කිරීම පිළිබඳව තමන් මෙතෙක් කිසිවක් නොදන්නා බවත්, අනවසර පදනමකින් ඉදිවූවක් නම් , මිස එලෙස බස් නැවතුම් ස්ථානයක් ඉවත් නොකරන බවත්ය. එහෙත්, මෙය වසර 15 ක පමන කාලයක් පුරා මෙම ස්ථානයේ පැවති අතර එය අනවසර එකක් නම් එසේ පැවතියේ කෙසේද යන්න පිළිබඳව ප්‍රදේශවාසී ජනතාව ප්‍රශ්න කරයි.

විරෝධතාවයේ යෙදී සිටි ජනතාවගේ ඉල්ලීම….

කිසිදු භේදයකින් තොරව එක්වූ මීගමුව , පෙරියමුල්ලේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව, වගකිවයුතු බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන්, කිසිදු හේතුවක් නොමැතිව ඉවත් කළ, ඉතා හොඳ තත්ත්වයේ පැවති මෙම බස් නැවතුම් ස්ථානය වහාම නැවත එම ස්ථානයේම ස්ථාපිත කර දෙන ලෙස ඉල්ලා සිටිති. නවීන පන්නයේ බස් නැවතුම් ස්ථානයක් නොව, ඔවුන්ට හුරුපුරුදු, ප්‍රයෝජනවත් වූ මෑතකදී ඉතාම හොඳ තත්ත්වයෙන් නවීකරණය කරන ලද එම බස් නැවතුම් ස්ථානය හෙවත් එම බස් හෝල්ට් එකම නැවත අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති.

මෙල්වා ( MELWA ) ආයතනය විසින් හලාවත – කොළඹ මහා මාර්ගයට අනෙක් පසින් එනම් මීගමුව සහ කොළඹ දෙසට යන බස් මගීන් සඳහාද නවීන බස් නැවතුම් ස්ථානයක් ස්ථාපිත කර ඇති ආකාරයද මෙහිදී දැකගත හැකි විය.

මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස පෙරියමුල්ල ජනතාව මේ සඳහා වගකිව යුතු බලධාරීන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here