රෝගී සුරක්ෂිතතාවය වෙනුවෙන් මීගමුව මහා රෝහලේ ” රෝගී ආරක්ෂණ සතිය ” මෙවරත් …..

0
208

 

නොමිලේ පූර්ණ වෛද්‍ය පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ……

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි සෑම වසරකම සැප්තැම්බර් 17 වැනි දිනට යෙදෙන “ලෝක රෝගී ආරක්ෂණ දිනය” නිමිත්තෙන් මීගමුව මහා රෝහල විසින් සුවිශේෂී රෝගී ආරක්ෂණ සතියක් මේ වසරේදී ද සංවිධානය කර ඇත. එනම් අද (14) දින සිට සැප්තැම්බර් 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම රෝගී ආරක්ෂණ සතිය, මහජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් නවමු වැඩසටහන් රැසක් සමඟින් නිල වශයෙන් ආරම්භ කිරීම අද (14/09/2026) පෙරවරුවේදී සිදු විය.

මීගමුව මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහත්මියගේ ප්‍රධානත්වයෙන්, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද කුමාර මහතා ඇතුළු වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ රෝහලේ සෙසු කාර්ය මණ්ඩල නියෝජනය කරන පිරිසකගේ සහභාගීත්වයෙන් අද උදෑසන මෙම රෝගී ආරක්ෂණ සතියේ සමාරම්භක උත්සවය මීගමුව රෝහල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

ඔබගේ සුව සෙත වෙනුවෙන් , නොමිලේ, පූර්ණ වෛද්‍ය පරීක්ෂණ . ….

මෙම රෝගී ආරක්ෂණ සතියේ ප්‍රධානතම අංගය වන්නේ, සැප්තැම්බර් 14 නැනිදා එනම් අද දින සිට එලඹෙන 19 වැනි සෙනසුරාදා දින දක්වා ඕනෑම දිනකදී උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුල මීගමුව මහා රෝහලට පැමිණෙන ඕනෑම අයෙකුට, එම තැනැත්තාගේ අවශ්‍යතාවය අනුව සහ එම තැනැත්තා මේ වන විට පෙළෙන රෝගී තත්ත්වයන් මුලික කරගෙන පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් ( Full Body Check-up) සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කර ගැනීමේ අවස්ථාව හිමි වීමයි. හෘද රෝග, රුධිර පීඩනය, පිළිකා සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරේ. එම පරීක්ෂන තුලන් යම් රෝගී තත්ත්වයන් නිරීක්ෂණය වුවහොත්, ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම වැඩිදුර වෛද්‍ය උපදෙස්ද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට රෝහල් පරිපාලනය සියළු කටයුතු සූදානම් කර ඇත. මෙය සාමාන්‍ය ජනතාවට තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමටත්, රෝග කල්තියා හඳුනා ගැනීමටත් මහඟු අවස්ථාවක් වනු ඇත.

 

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගැන දැනුවත් කිරීමට චිත්‍ර නිර්මාණ තරඟයක්. ….

රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්යාලීය කාර්ය මණ්ඩල ඇතුළු රෝහලේ සියලුම සේවක සේවකයන් සඳහා විවෘත චිත්‍ර තරඟයක් ද මෙම රෝගී ආරක්ෂන සතියට සමගාමීව සංවිධානය කර තිබීම විශේෂත්වයකි. “බෝ නොවන රෝගවලින් මිදෙන්නේ කෙසේද?” යන තේමාව යටතේ ඉදිරිපත් කෙරෙන මෙම චිත්‍ර නිර්මාණ, රෝහල් ශ්‍රවණාගාරයේදී මහජනතාවට ප්‍රදර්ශනය කිරීම අද දින ආරම්භ විය. පුද්ගලිකව, සේවක කණ්ඩායම් ලෙස හෝ වාට්ටු මට්ටමින් වුවද චිත්‍ර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, තෝරා ගත් හොඳම චිත්‍ර නිර්මාණයන් සඳහා ත්‍යාග පිරිනැමීමටද මීගමුව රෝහල් පරිපාලනය සැලසුම් කර ඇත. මෙය රෝහල් කාර්ය මණ්ඩලය තුළ සහ රෝහලට පැමිනෙන ජනතාව වෙත යහපත් සෞඛ්‍ය තත්වයන් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමටත්, නිර්මාණශීලී අදහස් ප්‍රවර්ධනය කිරීමටත් උපකාරී වේ.

ජනතාව දැනුවත් කිරීමට පා ගමනක්:

රෝගී ආරක්ෂණ සතියේ අවසන් දින වන සැප්තැම්බර් 19 වන සෙනසුරාදා දින, මීගමුව මහා රෝහලේ සිට මීගමුව නගරයේ බස් නැවතුම්පළ දක්වා දැනුවත් කිරීමේ පා ගමනක් පැවැත්වීමට නියමිතය. මෙරට ජනතාව සීඝ්‍ර ලෙස ගොදුරු වී ඇති, ඇතැම් විට ජන ජීවීත මාරාන්තික තත්ත්වයට පවා පත් කළ හැකි බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත්, එම රෝගවලින් මිදෙන්නේ කෙසේදැයි දැනුම ලබා දීමත් මෙම පා ගමනේ ප්‍රධාන අරමුණයි.

රෝහල් බලධාරීන් පවසන්නේ මෙම පා ගමන සඳහා රෝහල් කාර්ය මණ්ඩලය, විවිධ රාජ්‍ය ආයතන නියෝජිතයින් සහ විවිධ සංවිධානවල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මෙය සමස්ත ප්‍රජාවම සෞඛ්‍ය සම්පන්න දිවියක් කරා යොමු කිරීමට දරන උත්සාහයක ප්‍රබල පියවරක් වනු ඇත.

මීගමුව මහා රෝහල විසින් සංවිධානය කරන මෙම රෝගී ආරක්ෂණ සතිය, ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් අගනා මෙහෙවරක් ඉටු කරනු නොඅනුමානයි.

(( මෙම සටහන සඳහා තොරතුරු ලබා දුන් මීගමුව මහා රෝහලේ වෛද්‍ය කාංචනා මහත්මියට සහ කාර්ය මණ්ඩලයේ වාසනා මහත්මියට අපගේ විශේෂ ස්තුතිය පිරිනමමු ))

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

ඡායාරූප .-.
රේමන් අපොන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here