මීගමුව, වැල්ලවීදිය මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයේ පවතින බව කියන බරපතල අනාරක්ෂිත තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි කනස්සල්ලෙන් පසුවෙති. නගර සභා බලධාරීන් වෙත මේ පිළිබඳව දැනට කාලයක සිට කිහිප වතාවක්ම ලිඛිතව දැනුම් දී සැලකිය යුතු කාලයක් ගතවී ඇතත් මේ දක්වා කිසිදු ප්‍රායෝගික පියවරක් ගෙන නොමැති බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.
මෙම සායන මධ්‍යස්ථානය, සාමාන්‍ය ලෙස සායන පවත්වන ස්ථානයක් ලෙස සැලකීමට නොහැකිය. දිනපතාම විශාල පිරිසක්, විශේෂයෙන් ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, සිය අලුත උපන් බිළිඳුන් සහ කුඩා දරුවන් සමඟ සුව සේවාවන් ලබා ගැනීම සඳහා මෙහි පැමිණෙති. එවැනි සංවේදී ස්ථානයක අනාරක්ෂිත තත්ත්වයක් පැවතීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති.
“අපි මේ ගැන නගර සභාවට කිහිප වතාවක්ම ලිඛිතව දැනුම් දුන්නා. නමුත් තවම කිසිම දෙයක් වෙලා නැහැ. අනතුරක් වෙනකම් බලාගෙන ඉන්නවද කියලා හිතෙනවා,” එක් මවක් කනස්සල්ලෙන් යුතුව එලෙස පැවසීය.
යම් හෙයකින් මෙම ස්ථානයේ සිදුවන අනතුරකින් මවකට හෝ කුඩා දරුවෙකුට හානියක් සිදුවුවහොත් එහි වගකීම භාරගන්නේ කවුද යන බරපතල ප්‍රශ්නය ද ප්‍රදේශවාසීන් විසින් බලධාරීන් වෙත යොමු කරනු ලබයි. එවැනි සිදුවීමක් සිදු වීමට පෙර වහාම මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කිරීම බලධාරීන්ගේ වගකීම සහ යුතුකම බව ඔවුන් අවධාරණය කර සිටී.
ජනතාවගේ පැමිණිලි, ලිපිගොනුවලට පමණක් සීමා නොවී, අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාවෙන් පෙන්වීම අත්‍යවශ්‍ය බවත්, මව්වරුන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙවැනි තත්ත්වයන් ජනතාවගේ විශ්වාසය පළුදු කරන අතර, වගකිවයුතු ආයතන ලෙස කඩිනමින් මේ කෙරෙහි අවධානය යොමු කිරීම කාලෝචිත වේ.
ඩබ්ලියු.ස්ටීවන් පෙරේරා වැල්ලවීදිය
මීගමුව …
































