අඳුරෙන් පිරි ජීවිත වලට බලාපොරොත්තුවේ පහන් දැල් වූ, ප්‍රජා මෙහෙවරක් …..

0
98

 

ලොව පුරා අඳුරු සෙවණැලි බිඳ හෙළා, ජීවිතයේ සුන්දරත්වය යළි යළිත් සිහිපත් කරන “ලෝක සියදිවි නසාගැනීම් වළක්වා ගැනීමේ මාසය ස්මරණය කරමින් මීගමුව පුරවරයේ දී පසුගියදා බලාපොරොත්තුවේ නව පහන් දැල්වීය. “එක්වෙමු, බලාපොරොත්තු ඇති කරමු, ජීවිත සුරකිමු” යන තේමාව පෙරටු කර ගනිමින් පැවති දැවැන්ත ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන සහ ඊට සමගාමීව පැවති දැනුවත් කිරීමේ පා ගමන මීගමුව නගරය පුරා යහපත් මානසික සුවය පිළිබඳ නව පණිවිඩයක් රැගෙන ගියේය.

මෙම අගනා මෙහෙවරට මීගමුව ,”හෙල්පින් හෑන්ඩ්ස් ” මනෝවිද්‍යා රෝහල, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව මුලස්ථාන පොලිසිය සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ මීගමුව ශාඛාව එකට එකතුව, දායකත්වය ලබා දුන්හ. “හෙල්පින් හෑන්ඩ්ස්” මනෝවිද්‍යා රෝහලේ අධ්‍යක්ෂිකා සහ ප්‍රකට වෘත්තීය මනෝවිද්‍යා සායනික උපදේශිකා තාරු පරණවිතාන මහත්මියගේ නායකත්වයෙන්, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහ මීගමුව ,වැඩබලන මුලස්ථාන පොලිස් ස්ංථානාධිපති රොෂාන් මහතා ඇතුළු ආරාධීත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහනට ඉමහත් සාර්ථකත්වයක් හිමි විය.

මීගමුව නගරය පුරා පැතිරුණු බලාපොරොත්තුවේ හඬ …

මීගමුව බස් නැවතුම් පර්යන්තය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වූ මෙම වැඩසටහන,ජනතාවගේ සිත් සතන් තුළට නව බලාපොරොත්තුවක් දල්වන්නට සමත් විය. සියදිවි නසාගැනීම් වළක්වා ගැනීමේ වැදගත්කම ප්‍රකාශ කරමින් පැවති පා ගමනින් මීගමුව නගරය එදින සවස වර්ණවත් කළේය. මානසික සෞඛ්‍යය පිළිබඳ කෙටි නාට්‍ය, දැනුවත් කිරීමේ වීඩියෝ දර්ශන, උපදේශන අත්පත්‍රිකා බෙදා හැරීම මෙන්ම, සංගීත කණ්ඩායමක සුමියුරු ගීත ප්‍රසංගයක් ද ඇතුළත් විය. මිනිස් ජීවිතයක අගය රැකගැනීම, උපකාර ලබාගැනීමේ වැදගත්කම සහ අඳුරේ අතරමං වූවන්ට බලාපොරොත්තුවේ ආලෝකය ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය.

සංඛ්‍යා දත්ත පවසන ගම්පහ දිසාවේ අඳුරු සෙවණැලි පිරුණු කතාව ….

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ වැදගත්කම තව තවත් ඉස්මතු වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියදිවි නසාගැනීම් පිළිබඳ දත්ත දෙස බැලීමේදීය. හෙල්පින් හෑන්ඩ්ස්” මනෝවිද්‍යා රෝහලේ අධ්‍යක්ෂිකා සහ ප්‍රකට වෘත්තීය මනෝවිද්‍යා සායනික උපදේශිකා , තාරු පරණවිතාන මහත්මිය පැවසුවේ, සියදිවි නසා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් වර්ෂ 2021 සිට 2024 දක්වා කාලය තුළ, ගම්පහ දිස්ත්‍රික්කය තවමත් ඉහළ අවදානම් කලාපයක් ලෙස පවතින බවයි.

2021, හී, කොවිඩ්-19 සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සියදිවි නසාගැනීම් 280-320 අතර වාර්තා විය.2022 හී , ඇඟලුම් කර්මාන්තයේ බිඳ වැටීමත් සමඟ මෙය 300-350 දක්වා ඉහළ ගියේය. 2023 හී ආර්ථික අර්බුදයේ දිගුව නිසාවෙන් සියදිවි නසාගැනීම් 290-340 දක්වා ඉහළ මට්ටමක පැවතුණි. 2024 හී රට පුරා සියදිවි නසාගැනීම් අඩුවීමක් වාර්තා වුවද, ගම්පහ දිස්ත්‍රික්කයේ 270-320 අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් ඉහළ අවදානමක පවතී.
මෙම සංඛ්‍යා දත්ත මීගමුව වැනි ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන් වල අත්‍යවශ්‍යතාවය මනාව පෙන්නුම් කරයි.

මීගමුව ප්‍රජාවේ පොදු මානසික ගැටලු සහ අවදානම් සාධක. …

මීගමුව අවට ජනතාව අතර බහුලව දක්නට ලැබෙන මානසික ගැටලු අතර විශාදය (නිරන්තර දුක, උනන්දුව නැතිවීම), සාමාන්‍ය ආතති තත්වයන් (බිය, අධික කල්පනා), මත්පැන්/මත්ද්‍රව්‍ය භාවිතය, පවුල් ගැටුම්, රැකියා අහිමිවීම්, මූල්‍ය අර්බුද සහ අධ්‍යාපන පීඩනය ප්‍රධාන වේ. “කවුරුත් මට උදව් කරන්නේ නැහැ” වැනි සිතුවිලි සහිත සියදිවි නසාගැනීමේ සිතුවිලි ඉතා භයානක තත්ත්වයන් වේ.

අවදානම් ලක්ෂණ හඳුනා ගැනීමෙන් ජීවිත බේරා ගනිමු . …

සියදිවි නසාගැනීම් යනු මානසික රෝග, දීර්ඝකාලීන ආතතිය, පවුල් ගැටලු සහ සමාජ හුදකලාවීම වැනි සාධකවල ප්‍රතිඵලයකි. “මරණය හොඳයි”, “මට ජීවත් වෙන්න ඕන නැහැ” වැනි ප්‍රකාශ, උනන්දුව නැතිවීම, සමාජයෙන් ඈත්වීම, පවුලේ හෝ රැකියාවේ විශාල අර්බුද, මත්පැන්/මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම සහ මීට පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් කෙරෙහි වඩාත් සැලකිලිමත් වීමෙන් වටිනා ජීවිත බේරා ගත හැකිය.

මීගමුව නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වූ මෙම වැඩසටහන මගින් දල්වන ලද බලාපොරොත්තුවේ පහන් සිළු, අඳුරේ අතරමං වූ ජීවිත රැසකට ආලෝකය ගෙන ඒමට සමත්වනු ඇත. ජීවිතය වටිනා බවත්, සෑම ගැටලුවකටම විසඳුම් ඇති බවත්, උපකාර ලබා ගැනීමට ලැජ්ජා සහගත නොවිය යුතුය යන මාහැඟි පණිවිඩය මෙම වැඩසටහන මගින් මීගමුවේ වෙසෙන සමස්ත ප්‍රජාව වෙතම පසක් කර දුන්හ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here