මීගමුව, පිටිපන ග්‍රාමයෙන් බිහි වූ පැරා මළල ක්‍රීඩක, බුද්ධික හේෂාන් , ආසියානු රන් සිහිනය සොයා ජපානයට. …..

0
41

 

තම හෙල්ලයෙන් ලෝකයම මෙල්ල කල ,ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ලෝක ශූරයා වූ රුමේෂ් තරංග නොබොදා ආසියානු රන් කිරුළ ද ජයගත් ජපානයේ අයචී-නගෝයා හී මිසුහෝ පාර්ක් ක්‍රීඩාංගණයේදී (Nagoya City Mizuho Park Athletic Stadium) මේ මස 18 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන 05 වැනි ආසියානු පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සඳහා මීගමුව, පිටිපන, ප්‍රදේශයෙන් බිහිවූ ප්‍රකට පැරා මළල ක්‍රීඩක බුද්ධික හේෂාන් ප්‍රනාන්දු අද (13/10/2026) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ජපානයේ නගෝයා හි පැවැත්වෙන ආසියානු පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා, කැතේ-පැසිපික් ගුවන් සේවයට අයත් සී.එක්ස්.- 612 දරන ගුවන් යානයෙන් ඔහු හොංකොං බලා පිටත්ව ගිය අතර, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ජපානයේ නගෝයා බලා ගමන් කරනු ඇත. බුද්ධික හේෂාන් සමඟ මෙවර පැරා ආසියානු මළල ක්‍රීඩා තරගාවලිය සඳහා විශේෂ අවැසිතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ පුහුණුකරුවන් 04 දෙනෙකු සහභාගී වේ.

දුර පැනීමෙේ ඉසව්වේ ආසියානු පැරා රන් සිහිනය. …

මෙවර තරගාවලියේදී බුද්ධික හේෂාන් දුර පැනීමේ ඉසව්වට පමණක් සහභාගී වීමට නියමිතව සිටී. ඔහුගේ දකුණු පාදයේ ඇති වූ සුළු මස් පිඬු ආබාධයක් හේතුවෙන් මීටර් 100 කෙටි දුර ධාවන ඉසව්වට ඔහු මෙවර සහභාගී නොවේ.

ජයග්‍රහණ රැසකින් සමන්විතවු බුද්ධික හේෂාන්ගේ ක්‍රීඩා ජීවිතය. ..

2023 වසරේ චීනයේ, හන්ජෝ නගරයේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර 2025 වසරේ ඉන්දියාවේ පැවති වර්ල්ඩ් ග්‍රෑන්ඩ් ප්‍රී (World Grandprix – India) පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීම ඉසව්වේ දෙවන ස්ථානය හිමි කර ගනිමින් රිදී පදක්කම දිනා ගත්තේය.

එමෙන්ම 2025 වසරේ ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීමේ ඉසව්වට සහභාගී වෙමින් ලොව ප්‍රබල දුර පැනීමේ පැරා මළල ක්‍රීඩකයින් සමඟ තරග කර, එහි 07 වන ස්ථානය ලබා ගත් අතර, එහිදී මීටර් 6.70 ක දක්ෂතාවයක් වාර්තා කළේය.

මේ වසරේ එනම් 2026 ජනවාරි මාසයේ මෙරටදී පවත්වන ලද ප්‍රථම මලල ක්‍රීඩා පරීක්ෂණයේදී දුර පැනීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින් මීටර් 6.85 ක දක්ෂතාවයක් වාර්තා කළේය.
එලෙසම මේ වසරේ පෙබරවාරි මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පවත්වන ලද වර්ල්ඩ් ග්‍රෑන්ඩ් ප්‍රී ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමේ ඉසව්වෙන් 02 වන ස්ථානය දිනා එහි රිදී පදක්කම හිමි කර ගත්තේය.

මීගමුව පුවරයට විසල් කීර්තියක්. ….

මීගමුව, පිටිපන ප්‍රදේශයේ ධීවර කර්මාන්තය ආශ්‍රිත වෘත්තියක නියැලෙන ඔගස්ටින් ප්‍රනාන්දු සහ නිර්මලා ප්‍රනාන්දු යුවලගේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වන, 30 හැවිරිදි බුද්ධික හේෂාන්, මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

විශේෂ අවශ්‍යතා ඇති අනෙකුත් දූ දරුවන්ට විශේෂයෙන්ම , තරුණ තරුණියන්ටද කදිම ආදර්ශයක් සපයමින්, මලල ක්‍රීඩාවට තම ජීවිතයම කැප කර තම මව්බිම රනින් සරසන්නට වෙරදරන මීගමුව, පිටිපන ග්‍රාමයෙන් බිහි වූ මේ තරුණ ක්‍රීඩකයාට, මීගමුව පුරවරයේ සමස්ථ ජනතාව සමඟින් මෙම තරගාවලියේදී ලක්මව රනින් සරසන්නට භාග්‍ය උදා වේවා යයි “”මීපුර” අපද මෙලෙස සුභ පැතුමන් එක් කරමු.. …

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here