සංජය සේනානායක, වේලාසන නික්ම යයි

0
40
Sanjaya1

දුලබ ගණයේ වටිනාකම් හා කුසලතා සහිත තරුණ මාධ්‍යවේදියකු වූ සංජය සේනානායක අද (21) අභාවප්‍රාප්ත විය.

තමන් පෙළුණු බරපතළ රෝගී තත්ත්වයට අප්‍රහතිහත ධෛර්යයකින් යුතුව මුහුණ දෙමින්, ප්‍රතිකාර ලබන අතරතුරද සිය වෘත්තීය කටයුතුවල නිරතව සිටි ඔහු, සතියකට පමණ ඉහතදී ප්‍රතිකාර අත්හිටුවීමෙන් පසුව මරණය පිළිගැනීමට සූදානමින් සිටියේය.

වීඩියෝ වාර්තා වැඩසටහන් ක්ෂේත්‍රයේ විශිෂ්ට‍යකු වූ සංජය දෙස් විදෙස් ආයතන රැසක් සමග කටයුතු කර තිබේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර පෙදෙස්හි සංකීර්ණ වාතාවරණයන් තුළ ඔහු බොහෝ අවස්ථාවලදී මාධ්‍යකරණයේ නිරත විය.

තියුණු විචාරශීලීත්වය, අභියෝගවලට මුහුණදීමේ එඩිතර බව, දුෂ්කර තත්වයන් යටතේ වැඩ කිරීමේ ශක්තිය, කැමරාකරණයෙහි හසල බව, සංස්කරණ ශිල්පයෙහි සූක්ෂ්මාත්මතාව, භාෂා හැකියාව මෙන්ම හඩ පෞරුෂයද ඔහුගේ වෘත්තීය දිවිය තුළ කැපී පෙනුණු ගුණාංගයන්ය. වාර්තා චිත්‍රපටකරණයේ සියලු අදියර, එතරම් විශිෂ්ට අන්දමින් තනිව නිම කළ හැකි ශිල්පියකු පිළිබදව උදාහරණ සපයාගැනීම දුෂ්කර ය.

අව්‍යාජ ගුණයත්, මිත්‍රත්වය හා අධීනත්වයත් ආත්මය කොටගත් සංජය, ඔහුගේ සමකාලීනයන් අතර ගෞරවයට පාත්‍ර වූවෙකි. මිනිස් වර්ගයා පෙළන බාහිර හා අභ්‍යන්තර අගතීන්ට එරෙහිව ඔහු සිය කෙටි කාලීන දිවිය තුළ ආකල්ප වලින්ද, පැවැත්මෙන්ද අරගල කළේය.

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙහි ආචාර්යවරයකු ලෙසත් ට්‍රාන්‍‍ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසත් ඔහු කෙටි කලක් සේවය කළේය. රාමුගත ජීවිතයට අකමැති වූ ඔහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමට වඩාත් ප්‍රිය කළේය.

සංජය, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ අභාවප්‍රාප්ත සුනිලා අබේසේකරගේ සහ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ කේලි සේනානායකගේ පුතණුවන්ය.

සංජයගේ දේහය අද සිට මහරගම පිහිටි නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු සෙනසුරාදා සිදුකිරීමට නියමිතය.
www.lankaherald.com