ගල්ඔයෙන් ආපු ඔරිජිනල් “ගල් අරක්කු” එක කෝ?

0
26

 

ගල් අරක්කු ඉතිහාසය ප්‍රෞඪයි. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වාරි ව්‍යාපෘතිය තමයි ‘ගල්ඔය ව්‍යාපාරය’. අපට අහිමිවුණු “ගල් අරක්කු තොටිල්ල” තියෙන්නේත් ගල්ඔය ව්‍යාපාරයට සබැඳිව බව දන්නේ කීයෙන් කීදෙනාද?

‘ගල්ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය’ කාරණා කිහිපයක් නිසා මෙරට ඉතිහාසයට සුවිශේෂීයි. නිදහස් ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රථම වාරි සංවර්ධන ව්‍යාපෘතිය, ජල ධාරිතාවයෙන් අක්කර අඩි 770,000ක් වූ, ශ්‍රී ලංකාවේ විශාලම ජලාශය වන සේනානායක සමූද්‍රය ඉදිකිරීම, ශ්‍රී ලාංකික හයිඩ්‍රොලික් ඉංජිනේරුවරුන්ගේ දැනුමෙන් ඇමරිකානු සමාගමක් වන මොරිසන්-නඩ්සන් සමාගම විසින් ඉදිකෙරූ මීටර 1,100ක් දිග, මීටර් 140ක් උස, මීටර 9.1ක් පළල ඉඟිනියාගල වේල්ල, අක්කර 120,000ක පමණ බිම් ප්‍රදේශයක කෘෂිකාර්මික භෝග වගාකිරීම සහ මහපරිමාණ උක් වගාව ආරම්භ වීම ඒ අතර තියෙනවා. ගල්ඔය සීනි කම්හල ආරම්භ වෙන්නේත් මේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසයි.

1949දී ආරම්භ කළ ගල්ඔය ව්‍යාපාරය ගොවි ජනපද ව්‍යාපාරයක්. 1957 වනවිට නව පදිංචි කරවීම් 70%ක් විතර අවසන් වෙලා තිබුණා. මෙගාවොට් 10ක ජලවිදුලි බලාගාරයක්, උළු කර්මාන්තශාලාවක්, වී මෝලක් සහ සීනි කර්මාන්තශාලාව ඉදිවෙලා තිබුණා. සංවර්ධන පෙරැළියක්!

ඒ දැවැන්ත ව්‍යාපෘතිය ගමනේ යද්දී, සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ අතුරු නිෂ්පාදනයක් හැටියට ජනනය වෙන උක් මණ්ඩි වලින් ප්‍රයෝජනයක් ගතහැකි බව පෙනුණා. ඒ නිසා “ගල්ඔය මෙව්වා එක”, නැත්නම් “ස්කාගාරය” 1962 වගේ වර්ෂයකදී ඉදිකෙරුණා. ඊට මුල්වුණේ ප්‍රංශ සමාගමක්. ඊටපස්සේ ගල්ඔය ව්‍යාපාරයේ උක් වලින් නිපදවෙන අරක්කු “ගල්ඔය මොලැසස් අරක්කු” හැටියට සුවහසක් ශ්‍රී ලාංකික මහජනයා අතර ජනප්‍රිය වුණා. අන්න ඒක තමයි පසුකාලීනව කෙටිවෙලා “ගල් අරක්කු” බවට පත්වුණේ.

ගල්ඔයෙන් හදපු ගල් අරක්කු එක සැලකුණේ අපේ රටේ අයියලාගේ විසේට ගැලපෙන, අමු, ඉස්මොල්ලෙටම වදින බීමක් හැටියටයි. ඒ වුණාට අපි මේ කතාකරන්නේ ‘අතිවිශේෂ’ එක ගැන නෙමෙයි. අතිවිශේෂ එක හැදුණේ ගල්ඔය ඔරිජිනල් එකට පොල් ස්ප්‍රීතු 3%ක් එකතුකළාට පස්සේ. “100%ක් ඔරිජිනල් ගල් එක” කියන්නේ පිටතින් කිසිදු ‍රසක් එකතු නොකරපු ගල්ඔය උක් වල රස.

අතීතෙන් එන රස පුරුද්දටද මන්දා, අදටත් ගලක් බීගන්න කියලා සෙට්වෙන අය, “අහවල් තැන තමයි ඔරිජිනල් එක තියෙන්නේ, පුන්සිරි එකට යමු, අරකේ හරි නෑ” වගේ දේවල් කියනවා ඔබත් අහලා ඇති. ඒත් ඒ කොහෙන් ගත්තත්, කට්ටිය “ගල්, ගල්” කියකිය බොන්නේ ගල්ඔයෙන් ආපු ඔරිජිනල් එක නොවෙන බව තමයි, කණගාටුවෙන් වුණත් ඇත්ත කතාව.

– අසංක හදිරම්පෑල.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here