ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .

0
162

…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කුවේට් රාජ්‍යයේ සිට පැමිණෙමින් තිබූ මගී ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කිරීමේ ආශ්චර්යමත් සිදුවීමක් ඊයේ (19/10/2026 ) අලුයම වාර්තා විය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙම කාන්තාව, 2024 වසරේදී ගෘහ සේවිකාවක ලෙස කුවේට් රාජ්‍යයට ගොස් ඇති අතර, ඇය මෙලෙස ගුවන් ගැබේදී මවක් බවට පත්ව ඇත්තේ ඊයේ අලුයම 12.46 ට පමණය.

ගුවන් සේවිකාවන්ගේ කාරුණික සුව සේවාව. …..

කුවේට් සිටි ගුවන් තොටුපොළෙන් පිටත්වූ ජසීරා එයාර්වේස් ගුවන් සේවයට අයත් J9-551 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණෙමින් සිටියදී ඇයට හදිසියේම ප්‍රසව වේදනා හටගෙන තිබේ. මෙම අනපේක්ෂිත අවස්ථාවේදී, ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන්ගේ කඩිනම් සහයෝගය සහ ඔවුන්ගේ කාරුණික සුව සේවාව මත ඇය ගුවනේදීම නිරෝගී පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇත.

කටුනායක ගුවන් තොටුපොළේ සූදානම …

මෙම දරු ප්‍රසූතිය පිළිබඳව ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් කල්තියා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව, ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්වීමත් සමඟම මවට සහ බිළිඳාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගිලන් රථයක් ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ගුවන් යානය අසලම සූදානම් කර තිබුණි.

මව සහ බිළිඳා නිරෝගී සුවෙන් . …

අනතුරුව, මව සහ අලුත උපන් බිළිඳා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා ද, එලෙසම අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා ද, මීගමුව මහා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගන්නා ලදී. මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකා විශේඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය “” මීපුර “” ප්‍රවෘත්ති වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේ, ඊයේ දින (19/10/2026 ) පාන්දර 4.00 පසුවී තිබියදී මීගමුව මහා රෝහලට ඇතුලත් කළ අදාල මව සහ බිළිඳා මේ වන විට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලාය.

ගුවන් ගැබේදී, ගුවන් යානයකදී ආශ්චර්යමත් සිදුවීමක් ලෙස මෙලෙස උපත ලැබූ මේ ශ්‍රී ලාංකික ළදරුවාටත්, මවටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. …..

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here