හෙට දින ලොව දිනන දරුවන්ගේ නිර්මාණ ලෝකයට මඟ විවර කර දෙන ” විකසිත වන පුංචි දෑත් ” මහා අත්කම් ප්‍රදර්ශනය . ……
((( BLOOMING LITTLE HANDS – 2026 )))
ජත්‍යන්තර ළමා දිනය සැමරීම නිමිත්තෙන් මීගමුව මහා නගර සභාවේ ප්‍රධානත්වයෙන් සහ දායකත්වයෙන් පැවැත්වෙන, “BLOOMING LITTLE HANDS – 2026 ( විකසිත වන පුංචි දෑත් .. ) පෙර පාසල් දරුවන්ගේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය ඊයේ දින (01/10/2026) උදෑසන උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මීගමුව මහා නගර සභාවට අනුබද්ධ පෙර පාසල් 13 ක පුංචි දූ දරුවන්ගේ නිර්මාණශීලීත්වය ලොවට හෙළි කරන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය, මීගමුව මහා නගර සභාවේ නව පුස්තකාල සංකීර්ණ පරිශ්‍රයේදී ඊයේ සහ අද (2026/10/ 01-02) යන දෙදින පුරා පැවැත්වුණි.
මෙම අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයේ ඊයේ දින උදෑසන ආරම්භක අවස්ථාවට මීගමුව නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා, නාගරික කොමසාරිස් නුවණී සුදුසිංහ මහත්මිය, නියෝජ්‍ය නගරාධිපති නීතිඥ මොහොමඩ් ෆසීර් මහතා සහ මීගමුව මුලස්ථාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපති එන්.එස්. හසීම් මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මීගමුව මහා නගර සභාවේ පෙර පාසල් ගුරු සංගමයේ සභාපතිනිය වන චන්දිමා පෙරේරා මහත්මිය පැවසුවේ, මීගමුව මහා නගර සභාවට අයත් පෙර පාසල් 13 ක ඉගෙනුම ලබන පුංචි දූ දරුවන් සඳහා මේ එළඹුණු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් ඔවුන්ගේ නිර්මාණ එළි දැක්වීමක් කිරීමට යෝජනා වූ බවයි. නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරිය ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම පෙර පාසල් පාලනය වන බවත්, නගර සභා ප්‍රතිපාදන යටතේ ඉගැන්වීම් කටයුතු, නිල ඇඳුම් ලබාදීම ඇතුළු සියලු කටයුතු සිදුවන බවත් එහිදී ඇය අවධාරණය කළාය. මේ සියල්ල දරුවන්ගේ සුබසිද්ධිය සඳහා සිදුකරන බවත්, මෙම අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයද එම කර්තව්‍යයේම කොටසක් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
චන්දිමා පෙරේරා මහත්මිය මෙහිදී නගරාධිපතිවරයාටත්, නාගරික කොමසාරිස්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයටත් සිය කෘතඥතාව පළ කරමින් කියා සිටියේ, මේ පුංචි දූ දරුවන්ගේ දස්කම් එළිදැක්වීම සඳහා මෙවැනි අවස්ථාවක් ලබා දීම බෙහෙවින් අගය කල යුතු බවයි. ඇය පෙන්වා දුන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සෑම මාසයකටම අදාළව දරුවන්ට ලබා දුන් විවිධ තේමාවන් ඔස්සේ කළ අත්කම් නිර්මාණ මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇති බවයි. විශේෂත්වය වන්නේ, මෙම නිර්මාණ සියල්ලම මෙම පුංචි දූ දරුවන් විසින් සිදුකර ඇත්තේ ඉවතලන විවිධ දේ උපයෝගී කරගෙන වීමයි.
තලාදූව, කුරණ, මුන්නක්කරය, වැල්ලවීදිය, කුඩාපාඩුව, කඩොල්කැලේ, ශ්‍රී පුර (මුන්නක්කරය – සිරිවර්ධන පෙදෙස), රාජපක්ෂ උද්‍යානය, රහුමානාබාද් (පෙරියමුල්ල), ලෙයිටන් පටුමග, බෝලවලාන, කොච්චිකඩේ, සහ දළුපත යන මීගමුව නාගරික බල ප්‍රදේශ තුළ මහා නගර සභාවට අයත් පෙර පාසල් 13 ක් ස්ථාපිතව පවතින අතර, වර්තමානයේ එම පෙර පාසල් 13 හී දරුවන් 400 ක් පමණ ඉගෙනුම ලබන බවද වාර්තා විය.
මෙම ප්‍රදර්ශනය හරහා හෙට දින ලොව දිනන්නට වෙර දරන පුංචි දූ දරුවන්ගේ නිර්මාණශීලීත්වය, පරිසර හිතකාමීත්වය සහ සමාජයීය අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීමට මෙම අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය කදිම වේදිකාවක් බවට පත් වනු නොවනුමානය.
සටහන සහ ඡායාරූප .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු




















