පුංචි රෝමයේ කිතු අභිමන නැවත නැවතත් සනිටුහන් කළ ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන ….

0
373

..

මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය කතෝලික බාලිකා පාසලක් මෙන්ම, මීගමුව පුරවරයේ ප්‍රථම කතෝලික බාලිකා පාසල ලෙස ස්ථාපිත “ආවේ මරියා බාලිකා විද්‍යාලය” සිය 150 වැනි සංවත්සරික ජුබිලි මහෝත්සවය අද දින (2026/09/26) උදෑසන අභිමානවත් පා ගමනකින් සමරනු ලැබීය. “පුංචි රෝමය” ලෙසින් හැඳින්වෙන මීගමුව පුරවරයේ ප්‍රමුඛ බාලිකා කිතු අභිමානය තමන් බව නැවත නැවතත් පසක් කරමින්, අලංකාරය සහ ගෞරව බහුමානය පෙරදැරිව මෙම ජුබිලි සංවත්සරික පා ගමන සංවිධානය කර තිබිණි. හෙළ කිතුනු අනන්‍යතාවය පෙරදැරිව මෙම පා ගමන සංවිධානය කර තිබීමද විශේෂත්වයකි.

ආශිර්වාදිත මල් වැස්සකින් ඇරඹි සංවත්සරික පා ගමන

මීගමුව, ආවේ මරියා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරියගේ සහ එම විද්‍යාලීය ගුරුවර ගුරුවරියන්ගේ ප්‍රධානත්වයෙන්, හිටපු විදුහල්පතිනියන්, උප විදුහල්පතිනියන්, යහපත් එඬේරා නිකායේ කන්‍යා සොහොයුරියන්ගේද සහභාගිත්වයෙන් මෙම පා ගමන ආරම්භ විය. අද අලුයම් කාලයේදී ඇතිවූ ධාරානිපාත වර්ෂාව උදෑසන 7.00 පමණ වන විට පොද වැස්සක් බවට පත්වී තිබුණි. ඉන් අනතුරුව පැවති ආගමික යාඥාවන්ගෙන් පසුව විදුහල්පතිනී ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරියගේ ප්‍රධානත්වයෙන් ගුරු භවතුන්, සිසු දැරියන් සහ ආදි සිසුවියන් ඇතුළු 7000කට අධික පිරිසක් මෙම 150 වැනි සංවත්සරික ජුබිලි පා ගමන ආරම්භ කළහ.

ආවේ මරියා බාලිකා විද්‍යාලීය ප්‍රධාන ද්වාරයෙන් ආරම්භ වූ පා ගමන, පරණ හලාවත පාරේ ශාන්ත පීතර දේවස්ථානය අසලින් ගොස් මීගමුව නගරයට පිවිස, මහා වීදිය ඔස්සේ කොප්පරා මංසන්ධියට පැමිණ, එතැන් සිට කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගය ඔස්සේ පෙරියාමුල්ල දුම්රිය හරස් මාර්ගය අසලින් නැවත පරණ හලාවත පාර ඔස්සේ ආවේ මරියා බාලිකා පාසලට පැමිණීමෙන් අනතුරුව අද පෙරවරු 10:30 ට පමණ නිමාවට පත් විය.

උද්යෝගිමත් සහභාගීත්වයකින් හැඩවූ පා ගමන..

විදුහල්පතිනි, ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරිය සහ විද්‍යාලීය ගුරුභවතුන්, සිසු දැරියන්, ආදි සිසුවියන් අති විශාල පිරිසක්ද, එලෙසම ආවේ මරියා බාලිකා පාසලට අනුයුක්ත ලදරු පාසැලේ අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍යයින් (පුරුෂයන්) පිරිසක්ද මෙම පාගමන සඳහා සහභාගී වීම විශේෂත්වයකි. මෙය සැබවින්ම සමස්ත ආවේ මරියා පවුලේම එක්සත්කම කියාපාන දසුනක් විය.

සංගීතයෙන් සහ නර්තනයෙන් ඔපවත් වූ ජුබිලි පෙරහැර

විද්‍යාලීය පෙරදිග, අපරදිග තූර්ය වාදක කණ්ඩායම් වල තූර්ය වාදන මධ්‍යයේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි පපරේ වාදන කණ්ඩායම්වල සුමියුරු ගීත අනුවාදන රිද්මයන් මධ්‍යයේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දැරියන් මෙන්ම විද්‍යාලීය ආදි ශිෂ්‍යාවන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පා ගමන පැවැත්විණි. වෙනත් කිසිදු බාහිර අලංකරණ අංගයන් මෙම අභිමානවත් සංවත්සරික පා ගමනට එක් නොකිරීමට සංවිධායකයින් කල්තියාම සැලසුම් කර තිබූ අතර, සිසු දැරියන් හා ආදි ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වය ප්‍රධාන කොට සලකා තිබිණි. වයෝවෘද්ධ ආදි සිසුවියන් පවා තමන් සිප් සතර හැදෑරූ තම පාසල පිළිබඳ අභිමානයකින් යුතුව ප්‍රීති ඝෝෂා කළ අතර, අභිනවයෙන් මව් පදවිය ලද ආදි සිසුවියන් කිහිප දෙනෙකුම තම අලුත උපන් සිඟිති ළදරුවන් පවා ලයට තුරුළු කර ගනිමින් පා ගමනට එක්ව සිටි ආකාරය දැකගත හැකි විය. එලෙසම විශේෂ අවැසිතා ඇති ආදි සිසුවියන් කිහිප දෙනෙකුද පා ගමනට සහභාගී සිටි අයුරු සැබවින්ම සංවේදී දසුනක් විය. දෙමහල් බස් රථ ගණනාවක්ද අලංකාරවත්ව සරසා පා ගමන සඳහා එක් කර තිබූ අතර, නර්තන කණ්ඩායම් කිහිපයක්ම මෙම සංවත්සරික ජුබිලි පා ගමන වර්ණවත් කළහ.

මීගමුව අහස නීල වර්ණයෙන් හැඩ වෙයි.

ආවේ මරියා බාලිකා විද්‍යාලීය පරිශ්‍රයෙන් ඇරඹි මෙම 150 වැනි ජුබිලි සංවත්සරික පා ගමන ආරම්භ කළ මොහොතේ පටන්ම අවසන් වන තුරුම, පා ගමන ගමන් ගන්නා මාර්ගයට ඉහළ අහසේ ආවේ මරියා බාලිකා විද්‍යාලීය ධජය සවිකල නවීන ඩ්‍රෝන යානයක් පියාසර කළ ආකාරය දැකගත හැකි විය. නීල වර්ණයෙන් මීගමුව අහස් තලයේ දිස් වූ ආවේ මරියා බාලිකා ධජය මෙම සංවත්සරික පා ගමනට අපූරු සහ චමත්කාරජනක අභිමානයක් එක් කළාට සැක නැත. එම දසුන පා ගමනේ යෙදී සිටි සිසු දැරියන් සහ ආදි සිසුවියන් ඇතුළු පිරිසට තම පාසැල පිළිබඳ විසල් අභිමානයක් සහ කීර්තියක් ගෙන දුන්නේය.

වින්දනීය සංගීතමය නිමාව . ….

අද සවස විද්‍යාලීය භූමියේදී මෙරට ජනප්‍රිය “සී ප්ලස්” සංගීත කණ්ඩායමේ සජීවී සංගීත ප්‍රසංගයක් පැවැත්විණි. එලෙසම එයට සමගාමීව “සුම්බා” (ZUMBA) ශරීර සුවතා ව්‍යායාම් නර්තනාංගයක්ද පැවැත්වුණු අතර, මෙම සජීවී සංගීත ප්‍රසංගය සහ ශරීර සුවතා ව්‍යායාම් නර්තනාංගය සමඟින් මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයේ වසර 150 සපිරීම වෙනුවෙන් පැවති ජුබිලි සංවත්සරික පා ගමන සහ සමස්ත වැඩසටහනේ නිමාව සනිටුහන් කෙරිණි.

සටහන සහ ඡායාරූප .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here