මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….

0
111

ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නව දිශානතියකට යොමු කරමින්, මීගමුව පුරවරය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශ ගනනාවක් ඉලක්ක කර ගනිමින් සැලසුම් කරන ලද ,ගම්පහ දිස්ත්‍රික් , සංචාරක ප්‍රවර්ධන උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීම, පසුගිය 18 වැනි දින සවස (18/10/2026 ) මීගමුව, ලුවිස් පෙදෙසේ, රාණි බීච් හෝටලයේදී සිදුවිය.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි විය. එලෙසම කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත හා සංචාරක කමිටුවේ සභාපති, කටාන පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන , ගම්පහ දිස්ත්‍රික් අතිරේක ලේකම් ආසිරි වීරසේකර, සහ ගම්පහ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂිකා සමන්තා සේනානායක යන මහත්ම මහත්මාවීන් ඇතුළු තවත් ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සැලැස්මේ ප්‍රධාන අරමුණු සහ ආවරණය

මෙම උපාය මාර්ගික සැලැස්ම මීගමුව සංචාරක කලාපය, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශය, හැමිල්ටන් ඇල, කටන ආඬිඅම්බලම වැව, දඬුගම් ඔය, කටුනායක ඇවරිවත්ත, නාගරික ප්‍රදේශය, ජා-ඇල, අත්තනගල්ල සහ වෙදගම ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ පාරිසරික හා ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන ඉලක්ක කර ගනිමින් සකස් කර ඇත. බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ මූලිකත්වයෙන් හා අධීක්ෂණය යටතේ නිර්මාණය කර ඇති මෙම සැලැස්ම සඳහා පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සංචාරක ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී සංගම්වල අදහස් හා යෝජනා ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

මෙම සැලැස්ම ක්‍රියාත්මක වීමත් සමඟ දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී විනෝදාස්වාදයට, පාරිසරික සුන්දරත්වය අත්විඳීමට, ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹීමට සහ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට මෙන්ම ශ්‍රී ලාංකික හෙළ වෙදකමේ සුවසේවාවන් ඇතුළු සංචාරක අවස්ථා රැසක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. ඒ අනුව මෙම සැලැස්ම යටතේ මීගමුව සංචාරක කලාපය සඳහා පමණක් රුපියල් මිලියන 2225 කට ආසන්න මුදලක් වැය කිරීමට නියමිත බව වාර්තා වුණි.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ අදහස්

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ, 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියන 05 ක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවයි. මීගමුව ප්‍රදේශය සඳහාද විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙලෙස පැවසීය. “” මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ජනාධිපතිතුමාගේ සහයෝගය අපට ලැබෙනවා,”යැයි අමාත්‍යවරයා සඳහන් කළේය. “”සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ස්ථාවර කිරීමට නම් රටේ දේශපාලන ස්ථාවරත්වයත්, ආර්ථික ස්ථාවරත්වයත් අත්‍යවශ්‍යයි. ඒ සියල්ලටම වඩා රට තුළ සාමකාමී පරිසරයක් පැවතිය යුතුයි.””

යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ආගන්තුක සත්කාරය, ස්වාභාවික සම්පත් සහ ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම කාර්යය රජය, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධව සිදු කළ යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා විවිධ පාර්ශ්ව වෙන් වෙන්ව සැලසුම් ඉදිරිපත් කරනවා වෙනුවට, සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් පොදු උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම වඩාත් ප්‍රතිඵලදායක බවයි. පසුගිය වසර 02 තුළ සංචාරක අනු කමිටුව අවස්ථා 15 කදී රැස්වී සාකච්ඡා පවත්වා මෙම සැලැස්ම සකස් කළ බවද ඔහු අනාවරණය කළේය.

මෙම සැලැස්ම න්‍යායාත්මක සැලැස්මකට පමණක් සීමා නොවූ, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් බවත්, එහි අරමුණු සාර්ථක කරගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එලෙසම ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත හා සංචාරක කමිටුවේ සභාපති, කටාන පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතාද සභාව ඇමතූ අතර බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන මහතා විසින් මෙම සැලැස්ම පිළිබඳව සියලු කරුණු ඉදිරිපත් කරමින් සභාව ඇමතිය.

මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන්, මීගමුව සංචාරකයන්ගේ සංගමයේ සභාපති ඒ.වර්ණකුමාර මහතා සහ එම සංගමයේ ක්‍රියාකාරී සමාජිකයන් පිරිසක් ඇතුළු තවත් සංචාරක සංගම් නියෝජිතයන් ද එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් රැසක් ද සහභාගී වූහ.
ඒ අනුව මෙම නව සැලැස්ම ක්‍රියාත්මක වීම තුළ, මීගමුව පුරවරය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භයක් සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here