මීගමුවේදී , ඇසුණු සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතා හඬ . …..

0
165

අද දින (31/08/2026) මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ආර්ථික සංවර්ධන නිලධාරීන් උද්ඝෝෂණයක් පැවැත්වීය.එහිදී වාර්තා වූයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක් ඉදිරිපිටදී මෙවැනි විරෝධතා උද්ඝෝෂණ මාලාවක් අද දහවල් කාලයේදී පවත්වන බවයි. ඒ අනුව දහවල් 12.00 සිට 1.00 දක්වා වූ දිවා ආහාර විවේක කාලය තුළ , එනම් පැයක පමණ කාලයක් පුරා මෙම විරෝධතා උද්ඝෝෂණය ක්‍රියාත්මක විය.
මෙලෙස අද දින දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල බොහොමයක් ඉදිරිපිට දහවල් දිවා ආහාර විවේක වේලාවේදී මේ ආකාරයෙන් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇත්තේ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා ආර්ථික සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සංධානය විසිනි. එම සමිති සංධානය මෙහෙවීමෙන් පවත්වන ලද මෙම විරෝධතාවල ප්‍රධාන අරමුණ වූයේ ඔවුන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීම් සඳහා රජයේ අවධානය ලබා ගැනීමයි.

 

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ ආර්ථික සංවර්ධන නිලධාරින් යොමු කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ, රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා ආර්ථික සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සංවිධානය විසින් සකස් කර ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කර ඇති ආර්ථික සංවර්ධන සේවා ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව රජය පාර්ශවයෙන් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ ප්‍රතිචාරයක් නොලැබීම පිළිබඳවයි. ඒ අනුව තමන් ඉදිරිපත් කරන ලද එම ආර්ථික සංවර්ධන සේවා ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් කිසිදු සලකා බැලීමක් හෝ මෙතෙක් සිදු නොකිරීම පිළිබඳව ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ දැඩි කනස්සල්ලට හේතුව වී තිබේ. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම කෙටුම්පත කඩිනමින් සාකච්ඡාවට ගෙන පිළිගැනීමට ලක් කරන ලෙසයි. එලෙසම
දිවයින පුරා රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ නියුතු 150,000 කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් සංඛ්‍යාවකට මෙතෙක් උසස්වීම් සහ නිශ්චිත රාජකාරී ලැයිස්තු නොමැති වීම විශාල ගැටලුවකි. ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් උසස්වීම් ලබා දෙන ලෙසත්, සියලු දෙනාටම අදාළ වන පරිදි පැහැදිලි රාජකාරී ලැයිස්තු සකස් කරන ලෙසත්ය.
තවද වසම් මට්ටමේ සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ට මසකට ලැබෙන කාර්යාල දීමනාව රුපියල් 750 ක් සහ ගමන් හා ප්‍රවාහන වියදම් සඳහා ලැබෙන දීමනාව රුපියල් 300 ක් වැනි ඉතාම සුළු මුදලකි. වත්මන් ඉන්ධන මිල සහ ජීවන වියදම ඉහළ යාම හමුවේ රුපියල් 300 කින් ඉන්ධන ලීටරයක් හෝ මිලදී ගත නොහැකි තත්ත්වයක් තුළ මෙම දීමනා කඩිනමින් වැඩි කර දෙන ලෙස ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මෙම උද්ඝෝෂණය පැවැත්වීමේ මූලික අරමුණු සහ ඉල්ලීම් පිළිබඳව අදහස් දක්වමින්, රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා ආර්ථික සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සංධානයේ සම ලේකම් ධම්මික මුණසිංහ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වීය.
“අද දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, ගම්පහ දිස්ත්‍රික්කය මුල්කර ගනිමින් මෙන්ම රට පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක් ඉදිරිපිටදී මෙවැනි විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා. අපගේ ගැටලු විසඳීම සඳහා රජය විසින් කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවට ප්‍රකාශ කළත්, ඒවා අපට පිළිගත නොහැකියි. රජය බලයට පත්වීමට පෙර අපගේ සියලු ගැටලු විසඳන බවට පොරොන්දු වුණා. නමුත් මේ වන විටත් ප්‍රමාද වෙමින් තිබෙනවා. අපගේ ඉල්ලීම් ඉටු කිරීමට රජය තවත් ප්‍රමාද වන්නේ නම්, එළඹෙන සැප්තැම්බර් මාසයේදී රට පුරා සේවයේ නියුතු සමස්ත ආර්ථික සංවර්ධන නිලධාරීන් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට අපි කටයුතු කරනවා.” යැයිද එහිදී ධම්මික මුණසින මහතා වැඩිදුරටත් පැවසීය.

මීගමුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම විරෝධතා උද්ඝෝෂණයෙන් සහ රට පුරා පැවැත්වුණු එම සමස්ත විරෝධතා උද්ඝෝෂණ මාලාවෙන් ද පැහැදිලි වන්නේ, ආර්ථික සංවර්ධන නිලධාරීන් තම අයිතිවාසිකම් සහ සාධාරණත්වය වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවකි. රජය ඔවුන්ගේ මෙම ඉල්ලීම් පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර විසඳුම් ලබා දෙනු ඇතැයි ඔවුහු තවමත් දැඩි ලෙස අපේක්ෂාවෙන් පසුවෙති.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දහවලදී පැවති මෙම විරෝධතා උද්ඝෝෂණය සඳහා සංවර්ධන නිලධාරීන් සහ නිලධාරිනියන් 60 කට අධික ප්‍රමාණයක් සහභාගී වුහ.

සටහන .-.
තුෂාර රෝහන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here