වසර 210 ක අභිමානය සනිටුහන් කළ මීගමුව නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ සංවත්සරික පා ගමන . ……
(( NEWSTEAD WOLK 2026))
ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමසම නාමයක් සනිටුහන් කරමින්, මීගමුව පුරවරයට විසල් කීර්තියක් සහ ගෞරවයක් එක් කල මෙරට මෙන්ම ආසියානු කලාපයේ ද පළමු බාලිකා පාසල ලෙස පිළිගැනෙන, මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලය, මේ වසරේදී සමරනු ලබන සිය අභිමානවත් වසර 210 යේ සංවත්සරික වැඩසටහන් මාලාවේ අවසන් අංගය ලෙස ” නිවුස්ටෙඩ් වෝක් – 2026 ” (NEWSTEAD WOLK 2026) හෙවත් 210 වැනි සංවත්සරික සැමරුම් පා ගමන අද දින (12/09/2026) මහත් හරිසරින් පවත්වනු ලැබීය.
උත්සවාකාරයෙන් ඇරඹි සංවත්සරික පා ගමන . …
මීගමුව , නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය හා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය වන එච්. ඒ.එස්.පී . සේනාරත්න මහත්මියගේ ආරාධනයෙන් ගරු නදීර ප්‍රනාන්දු දේවගැතිතුමාගේ ද සහභාගීත්වයෙන් ආගමික කටයුතු සිදු කිරීම සහ ජාතික ධජය එසවීම, ජාතික ගීය සහ පාසල් ගීය ගායනා කිරීම සහ නිවුස්ටෙඩ් විද්‍යාලයේ ආරම්භකයා ලෙස සැලකෙන ගරු රොබට් නිවුස්ටෙඩ් දේව ගැතිතුමානන් සිහිකරමින් ගෞරවය පුද කිරීම ආදී කටයුතු වලින් අනතුරුව විද්‍යාලීය විදුහල්පතිනිය , ගුරු භවතුන් ,සිසු දැරියන් සහ ආදි සිසුවියන් ද ඇතුළු විද්‍යාලීය සුභ පතන්නන්ගේද සහභාගිත්වයෙන් මෙම සංවත්සරික පා ගමන අද උදෑසන 8.00 ට පමණ මීගමුව, “එස්ප්ලනේඩ් ක්‍රීඩාංගනය” හෙවත් කොටුව ක්‍රීඩා පිටිය අබියසින් ආරම්භ විය.
සහභාගිත්වය සහ ආකර්ශනීය අංග . …
විදුහල්පතිනිය, ගුරු භවතුන්, සිසු දැරියන්, ආදි සිසුවියන්, පාසැලට හිතවතුන් සහ සුභ පතන්නන් ද ඇතුළුව 5000 කට ආසන්න පිරිසක් මෙම සංවත්සරික පා ගමන සඳහා සහභාගි වූ බව විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ, මෙම පා ගමනේ ප්‍රධාන සංවිධායිකා, නීතිඥ චම්පිකා අලහකෝන් මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.
අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් පෙරදිග, අපරදිග තූර්ය වාදක කණ්ඩායම් වල තූර්ය වාදන මධ්‍යයේ පෞරාණික වටිනාකමක් සහිත සහ නවීකරණය කල සිත් ඇදගන්නා සුළු මෝටර් රථ සහ නවීන පන්නයේ ලෝ ප්‍රකට සන්නාම වලින් යුත් අධි වටිනාකම් සහිත මෝටර් රථ වලින් සමන්විත වූ ආකර්ෂණීය මෝටර් රථ රැලියක් ද මෙම සංවත්සරික පා ගමන සඳහා එක් කර තිබිණි. එලෙසම දෙමහල් බස් රථ කිහිපයක්ද ඉතා අලංකාරවත්ව සරසා මෙම පා ගමන සඳහා එක්කර තිබෙන ආකාරය දැකගත හැකි විය.
මීගමුව අහස නිවුස්ටෙඩ් ධජයෙන් වර්ණවත් වෙයි. …
ඒ අනුව මීගමුව කොටුව පිට්ටනිය පරිශ්‍රයෙන් ඇරඹී ,මෙම සංවත්සරික පා ගමන තෙල්වත්ත හන්දිය, කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගය ඔස්සේ කොප්පරා හන්දියට පැමිණ මහා වීදිය ඔස්සේ මිගමුව ශාන්ත මරියා දේවස්ථානය පසුකොට නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාල පරිශ්‍රයට පැමිණීමෙන් අනතුරුව ,පා ගමන අවසන් විය. එමෙන්ම පා ගමන මීගමුව නගරයේ මාර්ගවල ගමන් කරන අවස්ථා කිහිපයකදීම නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලීය ධජය ලෙලදෙවමින් හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ පියාසර කළ ආකාරය මෙම සංවත්සරික පා ගමනට අපූරු අභිමානයක් සහ අලංකාරයක් එක් කලේය. එම දසුන පා ගමනේ යෙදී සිටි සිසු දැරියන් සහ ආදි සිසුවියන් ඇතුළු පිරිසට තම පාසැල පිළිබඳ අමුතුම ධෛර්යක් සහ ආඩම්බරයක් ගෙන දුන්නාට සැක නැත
සමාප්තියට, වින්දනීය සංගීතමය අත්දැකීමක් . ..
එලෙසම අද සවස විද්‍යාලීය භූමියේදී
ජනප්‍රිය ගායන ශිල්පීන් සහභාගි වන
” ද නිවුස්ටඩ් පල්ස් ෆ්‍රොම් වෝක් ටු වේව් ”
( THE NEWSTEAD PULSE FROM WSLK TO WAVE ) නමින් සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.ඒ අනුව එම සංගීත ප්‍රසංගය සමගින් මීගමුව නිවුස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ වසර 210 ක අභිමානවත් සංවත්සරික වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කෙරෙනු ඇත.
සටහන සහ ඡයාරූප .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.






























































