සෑම වසරකම සැප්තැම්බර් මස 27 වන දිනට යෙදෙන ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති කරගෙන මෙවරද මෙරට විවිධ සංචාරක කලාපවල සහ සංචාරක හෝටල්වල මෙරට සංචාරක කර්මාන්තයට නව ප්‍රාණයක් ලබා දෙමින් එම දිනය අති උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. මීගමුව සංචාරක සංගමය ද (Negombo Tourist Association – NTA) ඊයේ (27/09/2026) සවස මීගමුව සංචාරක කලාපයේ පිහිටි හෙරිටන්ස් හෝටලය ඉදිරිපිට ” බන්යැන් බායි සෙන්ටිඩෝ හෙරිටන්ස් ” ( “Banyan by Sentido HERITANCE” ) අවන්හල් පරිශ්‍රයේදී සංවිධානය කරන ලද විශේෂ ජාත්‍යන්තර සංචාරක දින සැමරුම් වැඩසටහනකින් එම දිනය සැමරුම තවත් වර්ණවත් කෙරිණි.
ලෝක සංචාරක දිනයේ ඉතිහාසය:
ලෝක සංචාරක දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) විසින් 1980 වර්ෂයේදීය. සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම, එය සමාජීය, සංස්කෘතිය, දේශපාලනය සහ ආර්ථිකය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. සෑම වසරකම සැප්තැම්බර් 27 වන දින මෙම දිනය සමරනු ලබන්නේ, UNWTO හි ව්‍යවස්ථාව සම්මත කරන ලද දිනය සැප්තැම්බර් 27 වීම හේතුවෙනි. සංචාරක ව්‍යාපාරය හරහා ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීම, සාමය හා සමෘද්ධිය ඇති කිරීම මෙම දිනයේ මූලික පරමාර්ථයන් වේ.
මීගමුවේ සංස්කෘතික මංගල්‍යය:
මීගමුවේ පැවති මෙම වැඩසටහන මෙරට සංස්කෘතික අනන්‍යතාව මනාව විදහා දැක්වෙන නර්තනාංග සහ සංගීතමය අංග කිහිපයකින් සමන්විත වුහ. මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස වැඩසටහනට එක් වූ අතර, මීගමුව සංස්කෘතික කටයුතු පිළිබඳ නිලධාරිනී දීලූෂා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ආරාධිතයන් පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය තුළ ස්ථාපිතව ඇති සංස්කෘතික බලමණ්ඩලය ප්‍රධානත්වයෙන් මෙම මෙම මෙම වැඩසටහනේ සියලුම නර්තනාංග සහ සංගීතමය අංග ඉදිරිපත් කරන ලදී. විශේෂත්වය වූයේ, මෙම නර්තනාංග ඉදිරිපත් කරන ලද්දේ මීගමුව සංස්කෘතික බලමණ්ඩලයේ ලියාපදිංචි රංග ආයතනවල සාමාජික සාමාජිකාවන් වීමයි. මෙහිදී ඉදිරිපත් කෙරුණු නර්තනාංග මෙරට සංස්කෘතික විවිධත්වය සහ ජාතීන් අතර ඇති අනන්‍යතාවයන් පිළිබිඹු වන පරිදි පෙළගස්වා තිබුණි.
දැනුම හා වින්දනය මුසු වූ සැඳෑවක්:
මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය විසින් විශේෂ දේශනයක් පවත්වන ලද අතර, මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතාද උත්සව සභාව ඇමතීය. ඊට අමතරව, මීගමුව මහා විදියේ ශාන්ත මරියා දේවස්ථානයේ ලෝක ප්‍රකට බිතු සිතුවම් නිර්මාණය කළ කලාශූරී එන්.එස්. ගොඩමාන්න මහතාගේ පුතෙකු වන දෙල්සන් ගොඩමාන්න මහතා ගේ ආදරණීය බිරිඳ වන විශ්‍රාමලත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරියක වූ නීතිඥ නාලනී හංසමාලා ජයතිලක මහත්මිය විසින් මීගමුව පුරවරය සතු ඓතිහාසික හා පාරිසරික වශයෙන් වටිනාකම් ඇති ස්ථාන පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වීය. මෙම දේශනය, පැමිණ සිටි සංචාරකයන් හට මීගමුව පිළිබඳව මනා අවබෝධයක් සහ මඟ පෙන්වීමක් ලබා දීමට සමත් විය.
සංගීත විශාරද සහන් තිලිණි පෙරේරා මහත්මියගේ බටනලා වාදනය සහ මීගමුව සශිකිරණ රංග ආයතනයේ 08 වසරේ සිසුවෙකු වූ භූපති තුර්විෂ් සිගේරා විසින් ඉදිරිපත් කරන ලද ගිනි නැටුම් අංගය විදේශීය සංචාරකයන්ගේ දැඩි අවධානයට ලක් වු ආකාරය දැකගත හැකි විය. ගිනි නැටුම් අංගය නරඹමින් සිටි විදේශීය සංචාරකයන් අත්පොළසන් දෙමින් තම සතුට ප්‍රකාශ කළ අයුරු එහිදී වැඩිදුරටත් දැකගත හැකි විය.
මීගමුවේ සංචාරක ව්‍යාපාරයට නව බලාපොරොත්තු. ..
මෙම වැඩසටහන පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර සංචාරක දිනය සැමරීම සඳහා සංවිධානය කළ මෙම වැඩසටහන තුළින් මෙරට ප්‍රෞඪ ඉතිහාසය තුළ දිස්වන සංස්කෘතික අංගවල වටිනාකම සහ එහි ආකර්ෂණය විදේශීය සංචාරකයන්ට ප්‍රදර්ශනය කිරීමටත්, ඔවුන් දැනුවත් කිරීමටත් හැකි වූ බවයි. මෙමඟින් මීගමුව සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, ඒ සඳහා මෙවැනි වැඩසටහන් ඇතුළු විශාල වැඩපිළිවෙලක් ඉදිරි කාලය තුළ තම සංගමයෙන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම විශේෂිත වැඩසටහන නැරඹීම සඳහා මීගමුව සංචාරක කලාපයේ ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවන් සහ උසස් නිලධාරීන් ඇතුළු අමුත්තන් පිරිසක්ද ,විවිධ රටවලින් පැමිණි විදේශීය සංචාරකයන් පිරිසක් සහ ශ්‍රී ලාංකික සංචාරකයන් පිරිසක්ද මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ. විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් මෙම වැඩසටහනේදී ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලාංකික නර්තනාංග ඉතා උද්යෝගයකින් යුතුව රසවිඳි ආකාරය දැකගත හැකි විය.
ජාත්‍යන්තර සංචාරක දිනය වෙනුවෙන් මීගමුවේදී පැවති මෙම සංස්කෘතිකමය වැඩසටහන යම් තරමකින් හෝ ලොව වෙනත් රටවලට , මෙරට අනන්‍යතාව ප්‍රදර්ශනය කරමින්, සංචාරක ව්‍යාපාරයට නව පණක් ලබා දීමට සමත් වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස ද සනිටුහන් කල හැකිය ..
සටහන සහ ඡායාරූප .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .



























































