spot_img
spot_img
Wednesday, April 24, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මඟ ඇරුණු සහෝදරයෙක් – බාහු ලියයි !

Must read

(8.35 am ) ලීනස් මට හමුවුනේ වාම සම සමාජය උඩ වැඩ කරන්න පටන් ගත් මුල් කාලයේ ඉදලයි. ඔහු පල්ලියට යටත් නොවුන ක්‍රිස්තියානි පූජකයෙකු ලෙසටයි අපට පෙනුනේ. ඔහු න්‍යාය හැදෑරීමට වඩා ක්‍රියාකාරීත්වය බලල ඉදිරියට ආ කෙනෙක්. සුළුතර ආගමකට අයත් කෙනෙක් ලෙසට මුලදී ඔහු ජාතිවාදය, ආගම්වාදයට විරුද්ධ වුනා. ඒ සම්බන්ධයෙන් තදින් වැඩ කළ කෙනෙක්. මේ රටේ බරපතලම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නය, මෙරට ජන්මභූමිය කරගත් ජාතීන් ලාංකේය ජාතිය හැටියට එකතු කිරීමයි. එය යට කරගෙන බොරු සමාජවාදී කටයුතු ගැන කථා කිරීම බොරුවක්, නැතිනම් නොදන්නාකමක්. මේ බොරුව මුලින්ම ගෙනාවෙ බණ්ඩාරනායක. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවිලා සිංහල සංගමය ගත් මගටම රට ඇදගෙන ගියා. “එක්සත් ජාතික” හඩ යටපත් කරල සිංහල පමණයි කියන මතවාදය ඉදිරියට දැම්මේ බණ්ඩා. බණ්ඩාරනායක ඔහුගේ මතය සුභසාදක රාජ්‍යයක් ලෙසටත් හදුන්වා දී ඉදිරිපත් කළා. රජය මගින් කරන වැඩ පිළිවෙලට, රජයට ගැන්මත් එකතු කළා. මෙය සමාජවාදය හැටියට හදුන්වපු නිසා මහා පිළිලයක් ඇති වුනා සිංහල සමාජවාදී රාජ්‍යය ක්‍රමයක් ලෙසට. එය එක්සත් ජාතියක් කියන බලවේගයට විරුද්ධ බලයක් ලෙසට පුළුල් වුනා.

මේ ඉතිහාසය ලීනස් හොදින් දැන සිටි අතර, සිංහල සමාජවාදී බොරුව ගැන හොද දැනුමක් තිබුණා. අද වුනත් මේ රට තුළ ප්‍රධාන බෙදීම සිංහල සමාජවාදය හා එක්සත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදය කියන මත දෙක අතරයි. මෙතනදී පුදුමාකාර ලෙසට ලීනස් මේ සිංහල සමාජවාදී බොරුවට රැවටිලා ගිහින්. දශක ගණනාවක් අප එකට සටන් කළේ සමාජවාදී ලේබලය තුළ එන ජාතිවාදී ෆැසිස්ට් මාදිලියේ බලවේගය පරාජය කිරීම සදහායි. විජය කුමාරණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජාතිවාදයට විරුද්ධව, ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ, සමාජවාදීන් එකතු කිරීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතියක් ගොඩනැගීම වඩා බලවත් වුනා. ඔහුගේ නායකත්වයෙන් ඇති කළ එක්සත් සමාජවාදී පෙරමුණ සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු වීමෙන් හරි මගට ලොකු පියවරක් ගත්තා. එයින් සිංහල පමණයි කියන බලවේගය යටටම තල්ලු වුනා. මෙතැන දී පක්ෂය තුළ විශාල වැඩ කොටසක් කරන ලද්දේ ලීනස් ජයතිලක සහෝදරයායි.

කොටි සංවිධානය ගත් ත්‍රස්තවාදී සටන් මාර්ගයේ සීමාවන් ඉක්මවා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ නැගිටීමේ ඇත්ත ජනතා සටන බේරා ගැනීමට ලීනස් සහෝදරයා විශාල වෙහෙසත් දරා වැඩ කටයුතු කළා. නමුත් දෙමළ සටන්කාමීන්ගේ නායකයන් වන ප්ලොට්, සුරේෂ් වැනි සටන් කාමී දෙමළ සන්විධාන එක්තරා තැනකට ගෙන ආවත්, යුද්ධමය නොවන විසදුමක් ලබා ගැනීමට බැරි වීම ගැන ලීනස් කඩා වැටුනා.

මේ නිසා ඔහු පසුගිය කාලයේ ගමන් කළේ වෘත්තීය සමිති ඇතුලේ ජාතික ප්‍රශ්නය ගැන කථා කළ යුතු නැතැයි කියන තැනට. ඒ අනුව පක්ෂයෙන් වෘත්තීය සමිති ඉවත් කරගන්නා සටනට ඔහු නායකත්වය දුන්නා. ඒ නිසා අනියම් ලෙසට මහින්ද රාජපක්ෂ දේශපාලනයට යටත්වන තැනට ගමන් කළා. අද මහින්ද සිටින්නේ සිංහල සමාජවාදී කියන ෆැසිස්ට් තාලයේ මතවාදය උඩ මර්ධන රාජ්‍යයකට ක්‍රියා කරමින්. එහෙයින් අවසානයේ අද ලීනස් සිරවී සිටින්නේ ෆැසිස්ට්වාදීන්ට උල්පන්දම් දෙන තැනකටය. මේ අගාදයකට වැටීම ගැන මාත් අප පක්ෂයේ සියලු දෙනාත් කණගාටු වෙනවා. එක්සත් ජාතික පක්ෂය සමග ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙනුත්, ෆැසිස්ට් තාලයේ සිංහල පමණයි සටන් පාඨය පරාජය කිරීම සදහාත් අප ලෑස්ති වී සටන් මෙහෙයුම් කරන මේ දවස් වල ජාතිවාදීනට ලීනස් යටවීම අපට සුළුපටු පාඩුවක් නොවන බව ප්‍රකාශ කරන්නට කැමතියි. මේ ලෙසට පංති සටනේ ශක්තිමත් නායකයන් ජාතිවාදී, සිංහලවාදී ගමනකට යට වන්නේ ඇත්තටම ජාතීන්ගේ සමගිය සදහා සටන දිග ඇරීම ප්‍රමාද වීම නිසයි.

වැඩපළේ සූරාකෑමේ ප්‍රශ්නය තුළ අවදිවන නිර්ධනීන්, විවිධ සුභසාධන වාදයන්ට යට කිරීම දැන් පවතින අනතුරක්. ඒ වෙනුවෙන් කම්කරුවන්ගේ නායකයන් යොමුවීම තුළින් දිළිදුකම සීමා කිරීමේ වැඩපිළිවෙල වලට අනුගත වීමේ ප්‍රවණතාවයන් මෑතකදී මතුවී තිබේ. මේ සුභ සාධන පිලිවෙත් මගින්  මුදල් ලැබීමේ මාර්ගද සැලසේ. මෙය උඩ තම පැවැත්ම සකසා ගන්නා වූ අය දේශපාලනය සහ විප්ලවකාරී සමසමාජ මතය දෙසට ගමන් කිරීමෙන් ඉවතට ගමන් ගනී. ලීනස් එවන් නායකයන් අතරට ගොස් ඇත. පසුගිය දශකයක හමාරක සිට දේශපාලන වශයෙන් ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී සටන් මතුවූ විට ලීනස් කළේ පෝස්ටර් කිහිපයක් වටරවුමක ඔසවා සිටීම පමණි. මෙය අමු අමුවේ පංති සටනින් ඉවත් වීමකි. ෆැසිස්ට්වාදී බලවේග ගොඩනැගෙන අවදියකදී එයට විරුද්ධ දේශපාලන සටන නොකර ගෙන යන්නා වූ සම සමාජ දේශපාලනයක් නොමැත.

මෙය ලීනස් ගැන අපගේ ඇගයීමයි.

– බාහු –

2020.04.17
(උපුටා ගැනිම හරය පුවත් පත )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article