ක්‍රොයේශියාව එක්ක තිබුණු තරගය පෘතුගාලය දිනුවේ Diogo Jota වෙනුවෙන්!

0
47

 

හරියටම මීට අවුරුද්දකට කලින් Jota හදිසි අනතුරක් වෙලා ජීවිතයට සමු දුන්නා. ඒ සමු ගැනීම සෑහෙන්න පාපන්දු රසිකයින් වගේම පෘතුගාල කණ්ඩායමත් සෑහෙන්න ලොකු කම්පනයට පත්කළා.

අද ක්‍රොයේශියාව එක්ක තරගය ආරම්භ කරන්න කලින් පෘතුගාල ජාතික ගීය වාදනය කරන වෙලාවේ Jotaගේ රූපය ක්‍රීඩාංගණයේ පුළුල් තිරයක් ඔස්සේ දකින්න ලැබුණා.

පෘතුගාලය මේ ලෝක කුසලානයට එන්නේම ක්‍රීඩකයින් 27+1 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් එක්ක. සාමාන්‍යයෙන් නම් පාපන්දු ලෝක කුසලාන සංචිතයක ඉන්න පුළුවන් ක්‍රීඩකයින් උපරිම සංඛ්‍යාව 26යි. ඒ ඇරෙන්න පෘතුගාලය තවත් එක දැල් රකින්නෙක් අතිරේක ක්‍රීඩකයෙක් විදිහට තරගාවලියට එක්කගෙන ආවා. එතකොට ක්‍රීඩකයින් 27යි. ඒ ඇරෙන්න පෘතුගාල සංචිතයේ Jotaගේ නමත් එකතු වෙලා තිබුණා. ඒ නිසා මේ සංචිතයේ ක්‍රීඩකයින් 27+1ක් ඉන්න බව තමයි ඔවුන් සඳහන් කළේ.

මේ තරගාවලිය Jota වෙනුවෙන් දිනන බවට බොහෝ දෙනෙක් බලාපොරොත්තු තියන් ආවා. අද ක්‍රොයේශියාව එක්ක තරගය ආරම්භ කරන්න කලින් Diogo Jotaගේ හීනය තවමත් පෘතුගාලය සමඟ සුරක්ෂිත බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ වගේම කොහේ හරි හොඳ තැනක ඉඳන් Jota හැමදාම වගෙ පෘතුගාලය එක්ක ඉඳීවී කියලා ඔවුන් විශ්වාස කළා.

ඇත්තටම Jota පෘතුගාලය එක්ක හිටියා. තරගයේ පළවෙනි ගෝලය ක්‍රොයේශියාව වාර්තා කරලා තියෙද්දී, පිටිපස්සෙන් ඉඳලා ඇවිත් තරගයේ 90+4 විනාඩියේ දී ජයග්‍රාහී දෙවෙනි ගෝලයත් වාර්තා කරන්න තරම් පෘතුගාලයට ශක්තිය ලැබුණා. තරගයේ අවසාන මොහොතේ පවා ක්‍රොයේශියාවට වඩා වාසනාව අතින් පවා පෘතුගාලය ඉස්සරහින් ඉන්නවා දකින්නත් ලැබුණා.

තරගය ඉවර වුනායින් පස්සෙත් පෘතුගාලය Jota වෙනුවෙන් උපහාර දක්වන්න එකතු වුනා. ඔහුගේ සමුගැනීම පෘතුගාලයට මොන තරම් ලොකු වේදනාවක් ද කියලා ඒ ක්‍රීඩකයින්ගේ ඇස්වලින් පෙනුණා.

අවුරුදු 28කින් ජීවිතයට සමු දීලා යන්න වුනත්, එතනින් අවුරුද්දකට පස්සෙත් තමන්ගේම සහෘදයින්ගේ හදවත් ඇතුළේ ජීවත් වෙලා ඉන්න ලැබෙන්න තරම් Jota වාසනාවන්තයි. පෘතුගාලය මේ ලෝක කුසලානය දිනන්න ඕන ඇයි කියලා හේතු දාහක් කියන්න පුළුවන්. ඒත් Jota වෙනුවෙන් මේ ලෝක කුසලානය දිනන්න පුළුවන් නම් මනුස්සයෙක්ට මරණින් මතු ලැබෙන හොඳම උපහාරය ඒක වේවී.

මොකද මේ තමයි Jotaගේ හීනය!

අන්ජු වික්‍රමසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here