spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආදායම් බදු නඩුවකදී නඩුකාරයා මට තමුසේ කිව්වා. ඒකට විරෝධය පෑවා කියලා හිරේ දැම්මා-අමරසිරි කලංසූරිය

Must read

kalan 1

ලාං‍කේය සිනමාවේ නළු භූමිකාව උඩියටිකුරු කරමින් හැත්තෑව දශකයේ සැබෑ තාරුණ්‍යයට නව අරුතක් දෙමින් මතුවූ සුවිශේෂම රංගන ශිල්පියා අමරසිරි කලංසූරියයි.

‘රැයත් දවාලත්’ කෙටි චිත්‍රපටයෙන් සිනමාවට අත් පොත් තබන්නට පෙර කලං තරුණයකු වශයේන අත් දුටු වේදනා අප්‍රමාණය.ඒවා ඔහු සිහිපත් කරන්නේ සංවේගය මුසු සතුටකිනි. කලංගේ රංග භූමිකාව සිසාරා පැතිරුණු ඒ සංවේදනයන් තවත් තරුණයකුට ජීවත්වීමේ බලාපොරොත්තු ඇති කරවන අත්දැකීම්ය. ඒ අත්දැකීම් නොවලහා ප්‍රකාශ කරමින් කලං තම ජීවිතය එළියට දමන්නට දැන් සූදානමින් සිටියි.

ඒ ‘දුක දිනූ දිවියක අමරණීය සැමරුම් – කලං’  චරිතාපදානය තුළිනි.

මෙය රසිකයින් බොහෝ කාලයක් මුළුල්ලේ ඉල්ලාසිටි කලංගේ ජීවන අත්දැකීම්වල එකතුවකි. මේ සංවාදය ඒ නිමිත්තෙනි.

කලං අයියා මේ දවස්වල ලොකු වැඩකට ලක ලෑස්ති වෙනවා කියලා ආරංචියි?

ඔව්. මං මගේ ජීවිතේ එළියට දාන්නයි හදන්නෙ.

කවදාද?

සැප්තෑම්බර් 20 වැනිදා සවස 6 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී

ඇයි ඉතිං ජීවිතේ එළියට දාන්න ඕනැයි කියලා හිතුනේ?

මිනිහෙකුට මේක බොහොම විරල සිදුවීමක්. කලාතුරකින් මෙහෙම දෙයක් වෙන්නෙ. අමුත්තක් වෙයි කියලා මට හිතුණා.

මෙපමණ කාලයක් ප්‍රමාද වුණේ ඇයි?

කාලයක් තිස්සේ ආසාව තිබ්බා. ඇත්තටම මං හරි ආසයි පහුගිය මගේ ජීවිතේට. මං ගොඩක් කල්පනා කරන්න පටන් ගත්තා ‍කොහොමද මගේ ජීවිතේ ලියන්නේ කියලා.ඒ විදිහට සෑහෙන කාලයක් දඟලලයි ජීවිතේ මෙහෙම එළියට දාන්නෙ.

කවුද ලිව්වෙ?

සුජීව ලක්මාල් වීරසේකර ලිව්වෙ. අප අතරින් වියෝ වෙච්ච මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තයා තමයි සංස්කරණය කරලා දුන්නෙ.

කවුද එදාට ප්‍රධාන ආරාධිතයා විදිහට සහභාගි වෙන්නෙ?

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා. සනත් කියන්නෙ නුවරින් සිනමාවට ආව කෙනෙක්. ඔහු විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි සනත් ඉගෙන ගත්තෙ මහනුවර කිංග්ස්වුඩ් එකේ. මම ධර්මරාජයේ. ස්කෝල දෙක බිග් මැච් වලදි පුදුම විදිහට වෛරයි. ඒත් එළියට ගියහම අපි හරිම මිතුරුයි. අතීතයේ ඒ සොඳුරු මතකයත් සනත් ප්‍රධාන ආරාධිතයා විදිහට කැඳවන්න මාව පෙළඹෙව්වා.

දැන් වයස කීයද  කියල ඇහුවොත් කියන්න කැමතිද?

අකමැත්තක් නෑ. (සිනහ වෙමින්) දැන් මට 73 යි.

මොකද හිතෙන්නෙ ආපහු හැරිලා බලනකොට ජීවිතේ ගැන?

මුල් කාලෙ නොසෑහෙන්න දුක් වින්දනේ කියලා හිතෙනවා.

නළුවෙක් වෙන්නද?

නෑ. ජීවත් වෙන්න.

ඒකද ඔබේ චරිතාපදානයට ‘දුක දිනූ දිවියක අමරණීය සැමරුම් – කලං’ කියලා නම තැබුවෙ?

ඔව් මං දුක දිනුවා. ඒ දුක තමයි මට හයියක් ශක්තියක් වුණේ.

කොතනින්ද ඒකට පදනම වැටුණෙ?

ජීවත් වෙන්න විවිධ දේ කරලා අන්තිමට මං රුපියල් තුන්සීයක් අතේ තියාගෙන නුවරඑළියට ගිහිල්ලා බෙල් කලිසම් ගෙනල්ලා වඩුගොඩ පිටියේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක තමයි මගේ දියුණුවට විශාලව බලපෑවෙ.

70 දශකයේ පරම්පරාව ඔබට පෙම් බැන්දෙ ඒ කාලෙ තාරුණයා ඔබෙන් දුටු හින්දා.අද මේ අලුත් පරම්පරාවත් එක්ක කොහොමද ඔබ ගනුදෙනු කරන්නෙ?

ඉස්සර අපි වාගෙ අද තරුණයො කට්ට කන්න කැමති නෑ. අපි නම් ඒකාලෙ ජීවත් වෙන්න විදිහක් නැති වුණහම පොල් කැඩුවා. එක ගහක පොල් නැඩුවාම පොල් ගෙඩියක් ලැබෙනවා. ගස් දෙක තුනක පොල් කැඩුවොත් ගෙදර වියදමට පාවිච්චි කරන්නත් පුළුවන්. ‘අහස් ගව්ව’ වගේ චිත්‍රපට වල තිබුණෙ ඒවාගෙ චරිත. අද තරුණයො ගැන කණගාටු හිතෙන්නෙ ජීවිතය පවත්වාගෙන යන්නවත් ඒගොල්ලන්ගෙ කිසිම උනන්දුවක් නෑ. වැදගැම්මක් ඇති දේවල් ගැන උනන්දු වෙන්නේ නෑ. සුදුසුකම් තියෙද්දිත් කාගෙන් හරි උදව් බලාපොරොත්තු වෙනවා.

මේ දශක කිහිපය පුරා ඔබ සිනමාවේ බොහෝ චරිත රඟපෑවානෙ. ඒ චරිත අතරින් වැඩියම කැමති මොන චරිතයටද?

‘අහස් ගව්වෙ’ විජේ හොඳ චරිතයක්. වෙලාවකට ඒ මමමද කියලත් හිතුණා.’යස ඉසුරු’ ‘පූජා’ ‘අනුපමා’ වාගෙ චිත්‍රපටවල චරිත වලටත් කැමතියි.

තාමත් රඟපාන්න ආසාවෙන් ඉන්න  චරිත තියෙනවාද?

ඔව්. නීරෝගී භාවය රැකගෙන ඉන්න හින්ද ජීවිත අත්දැකීම් ඕනෑ තරම් එක්කාසු කරගන්න පුළුවන්. මේ ළඟදි මට ආසාවක් ආවා හිඟන චරිතයක් රඟපාන්න. ඕඩියන්ස් එකට අදහන්න බැරි විදිහට අත්දැකීම් මංගාව තියෙනවා.

වරක් ඔබ කිව්වා පාතාලේ මදාවියෙක් වෙන්නත් ආසයි කියලා?

ඔව්. එහෙම ආසාවකුත් තිබුණා.

ඇයි එහෙම ආසාවක් ඇති වුණේ?

මමත් හිරේ ගියානෙ.

මොකටද හිරේ ගියේ?

මගේ ආදායම් බදු නඩුවකදී නඩුකාරයා මට තමුසේ කිව්වා. ඒකට විරෝධය පෑවා කියලා හිරේ දැම්මා.

හිරේදි මොනවගේ දේවල්ද අත් වින්දෙ?

කොමසාරිස් මගේ යාළුවෙක්. මාව ඇතුලේ තියන්න එයාට ඕනෑ වුණේ නෑ. ඒත් මට ඕනෑ වුණා ඇතුළට ගිහින් බලන්න.සොත්ති උපාලි, මාළු නිහාල්, කැලණියේ සුදා එහේදි හම්බ වුණා සුදා එයාගෙ කමිසෙ මට දීලා මගේ කමිසෙ ඉල්ලා ගත්තා. හිත හොඳ මිනිස්සු මොන කරුමෙකට හිරේ ගියාද මන්දා.

සිනමාවේ ඔබ වෙනස්ම විදිහේ පෙම්වතෙක්නෙ?

ඔව්. තිරයේ හුඟක් දකින්න තිබුණු පෙම්වතාට වඩා මං වෙනස් වුණා. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ වගේනෙ ප්ලේ වෙන්නෙ.

කොහෙමද කැමරාව ඉදිරියේ එහෙම පෙම් කළේ?

මගේ බිරිඳත් ඒ දවස්වල ඔය කතාවම මගෙන් අහුවා. කොහොමද අනේ කැමරාව ඉස්සරහා ඕවා කරන්නේ කියලා. රඟපෑම කියන්නෙ ඒක තමයි කියලයි මම ඇයට කිව්වේ. ඔයාට කියන්න තියෙන්නෙත් ඒකම තමයි.

බිරිඳ මුණ ගැහුනේ රඟපාන්න ගිය වෙලාවකද?

නෑ. සයිමන්ගෙ ‘සුබ සහ යස’ නාට්‍යයේ ටිකට් විකුණනකොට. ශාන්ත අන්තෝනි ශාලාවේ නාට්‍යය පෙන්නුවේ. අපේ සාප්පුවෙත් ටිකට් විකුණුවා. ටිකට් එකක් රුපියලයි. ගෑණු ළමයි 7 – 8 දෙනෙක් එක්ක ටිකට් ගන්න එයත් ඇවිත් හිටියා. ඈතට වෙලා හිටපු හින්දා ඇහුවා එයා කවුද කියලා. යාළුවෝ තමයි කිව්වේ අජන්තා කියලා.

මේ දවස්වල බිරිඳ මොනවාද කියන්නෙ?

එයා මට මවු වගේ. මා ගැන සොයා බලන්නෙ, මගේ කටයුතු වලට හවුල් වෙන්නෙ පුදුමාකාර ආදරයකින්. මගේ ජීවිත කතාව එළි දක්වන මේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම සංවිධානය කරන්නෙ ඇය.

දරුවො මොනවාද තාත්තා ගැන කියන්නෙ?

දුමින්ද, මධුමතී, ලාලිත්‍යා ඒ තුන්දෙනාට හරිම ආඩම්බරයි. මේ වැඩේට ඒ ගොල්ලො ගොඩක් උනන්දුයි.

-Dhammika akmeemana
http://www.lankalivestar.com

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article