spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඊනිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් කළ යහපාලන බලධාරින්ට එරෙහිව මාධ්‍ය සංවිධානවල විරෝධය !(පළමු සංස්කරණය )

Must read

web freedomමෙරට තුල යහපාලනයක් ස්ථාපිත කිරිම සදහා පැවැති රාජපක්ෂ පාලනයට කොන්දේසිවිරහිතව නිර්භිතවය සිය වෙබ්අඩවිය හරහා පහර පිිට පහර දුන් සඳරුවන් සේනාධිරගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ලංකා ඊනිස් වෙබ් අඩවිය පසුගිය 08 වෙනිදා සිට ලංකාව තුල වාරණයකට ලක්ව තිබේ.
මේ පිලිබදව දැනට සමාජ මාධ්‍ය අතර පුළුල් කතිකාවක් මතුව තිබෙන අතර ඇගිල්ල එල්ලවි පවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාර්ශවය වෙතය.
මේ පිළිබදව දැනටමත් මාධ්‍ය සංවිධාන කිපයක් විසින් සිය විරෝධය යහපාලන රජයේ අදාල බලධාරින් වෙත එල්ල කොට තිබේ.

මාධ්‍ය නිවේදනය – 2017 නොවැම්බර් 09

 නිව්ස් වෙබ් අඩවියට එරෙහි වාරණයට අපගේ විරෝධය වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය

 ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප්‍රවේශ වීමට ඇති හැකියාවට බාධා පමුණුවමින් ඊයේ දිනයේ සිට වාරණයක් ක්‍රියාත්මකව පවති.

පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධි රාජපක්ෂ පාලන සමය පෙරලා දමා යහපාලනයක් මෙරට තුල ස්ථාපිත කිරිම සදහා විවිධ තර්ජණ හමුවේ වුව වෙබ්මාධ්‍යවේදින් තිරාණාත්මක මැදිහත්විමක් සිදුකරන ලද අතර වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමය යනු එම පිරිසේ එකතුවයි. අපගේ ක්‍රියාකාරිත්වය හේතුකොට ගෙන ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය ද ඇතුළුව වෙබ් අඩවි 08 ක් එකල වාරණයකට ලක්ව තිබුණි.

මේ සියළු මර්ධනයන් හමුවේ වුව අප කොන්දේසි විරහිතව අපේ මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් මේ රටතුල යහපාලනයක් ස්ථාපිත කිරිමට 2015 ජනාවාරි 08 වෙනිදා දායකවුනෙමු.
ඊට පසුදිනම වාරණයට ලක්ව තිබුණ ටැමිල් නිව්ස් වෙබ් අඩවියද ඇතුළුව වෙබ් අඩවි සියල්ලේ ම වාරණය ඉවත් කරගැනිමට අපට හැකි විය.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය දැන් යහපාලනය යටතේද යළිත් වරක් වාරණයකට ලක්ව තිබේ.
වෙබ් මාධ්‍යකරණයේ නිදහස පිලිබදව එදා පෙනි සිටි අප සංගමය මේ සිදුකර ඇති වාරණය පිළිබදව යහපාලනයක් යටතේ කිසිලෙසකින් වත් සිදුනොවිය යුතුව ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු.

ආචාරධාර්මික වෙබ් මාධ්‍ය කලාවක් මෙරට තුල ස්ථාපිත කිරිම අරමුණු කොට ගෙන අප විසින් සකසා ඇති ආචාරධර්ම වලට එලෙසින්ම අනුකුල නොවන අකාරයේ මාධ්‍යකරණයක ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය නියැලුනද එය වාරණයකට ලක්කිරිම කිසිසෙත්ම අනුමත නොකරමු.

මේ අනුව අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම වාරණ තින්දුව ගැන යළිත් සිතා බලන ලෙසය.

එපමණක් නොව රටතුල ස්ථාපිතව ඇති මාධ්‍ය නිදහසට පටහැනි ආකාරයේ කිසිදු ක්‍රියාකාරිත්වයකට නොයන ලෙසින් අප අදාල සියළු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නෙමු

 

PWJA doc

 

 

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙනි මැයෙන්  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යෙව්දින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහත දැක්වේ:

ලංකා ඊ නිවුස්  වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කර තිබීම අප සංගමය දැඩි ලෙස හෙළා දකිමු. මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ දේශපාලනඥයින් මාධ්‍ය නිදහසට කළ බලපෑමට අප විටින් විට විරෝධය පළ කළෙමු. මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරො‍ත්තු නොවන්නකි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව අපට විශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළිකර සිටියි.

මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ විමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයකි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදු කළ යුතු බව අප අවධාරණය කරමු. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදීයකු වූ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවිය.

ආණ්ඩුවක් විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇත්නම් පමණි. එසේ නොවන්නේ නම් එකී විවේචනවලට පිළිතුරු දීමට ඕනෑම මාධ්‍ය ආයතනයක් සහතික කර තිබේ. විචේනවලට පිළිතුරු දීම වෙනුවට මර්ධනයකට කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයකි.

ලංකා ඊ නිවුස් වෙත සිදුකර ඇති වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර අමාත්‍යවරයාගෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

(ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙනි මැයෙන්  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යෙව්දින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය.)

 

මාධ්‍ය නිවේදනය – 2017 නොවැම්බර් 09 -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප‍්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කිරීම මඟින් එම වෙබ් අඩවියට එරෙහිව නිල නොවන වාරණයක් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මකව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණය කරයි.
මෙම ක‍්‍රියාවෙහි වගකීම් පැවරෙන ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අමතා තොරතුරු විමසීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය උත්සාහ කළ නමුත් ප‍්‍රතිචාරයක් නොලැබුණි.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කියා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මැදිහත්වීමෙන් 2017-11-08 දින සිට මෙම වාරණය පවත්වාගෙන යන බවයි. කොමිසම එම චෝදනාවට ද කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත. එම නිහඬතාව මගින්ද කොමිසම මෙම චෝදනාවට පිළිගැනීමක් ලබා දී තිබේ. වගකිව යුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් මේ අවස්ථාවේ විදුලි සංදේශ නියාමන කොමිසම වහා මේ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ප‍්‍රකාශයක් නිකුත් කළ යුතු බව අපගේ අදහසයි.
චෝදනාව සත්‍ය නම් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව පියවර ගෙන ඇති ආකාරයෙන් රජය පෙන්නුම් කර ඇත්තේ ඉදිරියේ දී වෙනත් ඕනෑම වෙබ් අඩවියකට හෝ මාධ්‍යයකට හෝ එරෙහිවද අත්තනෝමතිකව ක‍්‍රියා කිරීමට තමන් තුළ ඇති සූදානමයි. එබැවින් මේ පියවර ඔස්සේ වත්මන් රජය මෙරට ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි.
එසේම, තෙවසරකට පෙර බලයට පත් වූ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තිස්සේ ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව විවිධ වාග් ප‍්‍රහාර ඔස්සේ ගෙන ගිය තර්ජනාත්මක මැදිහත්වීම් ක්‍රියාකාරීභාවයට පරිවර්තනය කිරීමක් ලෙස ද මෙම ක‍්‍රියාමාර්ගය සැළකිය හැකිය.
රජයේ මෙම අත්තනෝමතික මර්දනකාරී නැඹුරුව වහා නිවැරදි කර ගනිමින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව පනවා තිබෙන වාරණය අහෝසි කරන ලෙසද ජනමාධ්‍ය නිදහසෙහි හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි පැවැත්ම සහතික කරන ලෙස ද දැඩිව ඉල්ලා සිටිමු.
සී. දොඩාවත්ත 
කැඳවුම්කරු
දිලීෂා අබේසුන්දර
ලේකම්

ජනපති සිරිසේන, ඔබ යන්නේත් මාධ්‍ය මර්දන රාජපක්ෂ අඩිපාරේද? – තරුණ ජනමාධ්‍යවේදියෝ අසති.

2017 නොවැ 09
මෛත්‍රීපාල සිරිසේන මහතා,
ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලයය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

ලංකා ඊ නිවුස් වාරණය සහ ජනමාධ්‍ය මර්දනය සම්බන්ධවයි

1.      ශ්‍රී ලංකා ටෙලිකොම්හි අන්තර්ජාල පහසුකම් භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම නොවැම්බර් 08 වැනි දා සිට අත්හිටුවා තිබේ.

2.      ප්‍රවෘත්ති වෙබ් අඩවියක් අවහිර කිරීම පිළිබඳව තීන්දු ගන්නා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යනු ඔබ යටතේ ඇති එනම් ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරණ ආයතනයකි. එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වන්නේ ද ඔබේ සහෝදරයාමය.

3.      මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ නීති විරෝධී නියෝගවලට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජනාධිපතිවරයා වැරදිකරුවකු කරමින් අධිකරණ තීන්දුවක් ලැබී මාස තුනක්වත් ඉක්ම යෑමට මත්තෙන් යළිත් වරක් එම කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීමට සිදුවීම පිළිබඳව අපි කණගාටු වෙමු.

4.      පසුගිය රජය සමයේ ද ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම වළක්වනු ලැබූ අතර වරෙක ඊ නිවුස් ආයතනය ගිනි තැබීය. එහි මාධ්‍යවේදීන් තිදෙනකුට අවස්ථා කිහිපයකදී නඩු පැවරීය. එපමණක් නොව එහි නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වූයේ ද පසුගිය රජය සමයේය.

5.      2015 ජනවාරි අට වැනි දා ඔබ ද, 2015 අගෝස්තු 17 වැනි දා වත්මන් රජය ද බලයට පත්වීවූයේ රාජපක්ෂ රජය සමයේ    ජනමාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගැනීම සහ හිරිහැර කිරීම මෙන්ම මාධ්‍ය නිදහස සීමා කිරීම් ගැන පරීක්ෂණ කඩිනම් කරන බවට වූ පොරොන්දුව මතිනි.

6.      ඔබ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පනවා තිබූ වාරණය ඉවත් කරන ලද මුත් මාධ්‍යවේදීන්ට වූ අසාධාරණය වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් සිදුවූයේ නැත.

7.      නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා 2016 නොවැම්බර් 19 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව 2006 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් ගණන 13 කි. පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 87 කි. අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් ගණන 20ක් වන අතර ජනමාධ්‍ය ආයතන පහක් ප්‍රහාරයට ලක්වී තිබේ.

8.      ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය විසින් එළිදක්වනු ලැබූ ‘මරණය සමඟ වසර නවයක්‘ ප්‍රකාශනයට අනුව 2004 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා ඝාතනය කළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ගණන 44 කි.  ජනමාධ්‍ය ආයතන ප්‍රහාරයට ලක්වූ අවස්ථා ගණන 9 කි.

9.      මරා දැමුණු මාධ්‍යවේදීන් අතුරෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් පමණි. පහරකෑම්වලට ලක්වූ මාධ්‍යවේදීන් අතුරෙන් විමර්ශන පැවැත්වෙන්නේ කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පමණි. අතුරුදන් කැරුණු (ඝාතනය කළ බවට සැක කරන) ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබේ.

10.  දැනට ආරම්භ කර ඇති විමර්ශන පහ සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙක හමාරක් ගත වුවද  එම අපරාධ සිදු කිරීමට අණ දුන් කිසිවකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත. මෙම අපරාධ සියල්ලක්ම වාගේ සිදුවූයේ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ අණ මත බව අපේ විශ්වාසයයි.

11.  නීතිය හා සාමය ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු අනුව මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට හිරිහැර (පහරදීම්, මරා දැමීම්, පැහැර ගැනීම්) කළ මුළු අවස්ථා ගණන 126 කි. මේ වන විට විමර්ශන ආරම්භ වී ඇත්තේ පහක පමණක් වන අතර තවත් සිදුවීම් 121 කට අදාළ විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුව තිබේ.

12.  විශේෂයෙන්ම දෙමළ භාෂාවෙන් වැඩ කළ ධර්මරත්නම් සිවරාම් (තාරකී), ඒ නඩේසන්, කේ ඒ බාලනඩරාජා, රෙලංගි සෙල්වරාජා, සුබ්‍රමනියම් සුගිතරාජන්, බී ජී සගයදාස්, චන්ද්‍රබෝස් සුදාකර්, සෙල්වරාසා රජිවර්මන්, සහදේවන් නිලක්ෂන්, වඩිවේලු නිමලරාජ්, පී දේවකුමාර් ඇතුළු මාධ්‍යවේදීන් රැසකගේ විමර්ශන තවමත් ආරම්භ කර නැත.

13.  බැඳුම්කර වංචාව සෙවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම ගැන ඔබ නිතර කතා කළද මාධ්‍යවේදීන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස මාධ්‍ය සංවිධාන වසර දෙක හමාරක් තිස්සේ ඉල්ලා සිටියද මේ වන තෙක් එවැනි කොමිසමක් පත් කර නැත.

14.   තත්ත්වය මෙසේ තිබිය දී මීට වසරකට පෙර හමුදා සාමාජිකයන්ට නිවාස හා ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයක දී 2016.10.12 දින ඔබ  ඉතා ආන්දෝලනාත්මක කතාවක් කළේය. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන්වීම සම්බන්ධයෙන්  අපරාධ චෝදනා  මත අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් මාස දහයක් තිස්සේ රිමාන්ඩ් බාරයේ පසුවන බව ඔබ එදින කතාවේදී කියා තිබිණි.

15.   එක්නැලිගොඩ නඩුවේ විමර්ශන කටයුතු ප්‍රමාද වීමට ප්‍රධානම හේතුව වී තිබුණේ ඔබ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔබේ යටතේ ඇති ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අවශ්‍ය තොරතුරු විමර්ශන සඳහා ලබා නොදීම නිසා බව අධිකරණයේදීම අවස්ථා කිහිපයක දී කියැවිණි.

16.   ‘උසාවිවල විභාග වන ඇතැම් නඩු සම්බන්ධයෙන් වගේම හමුදාවේ අය අත්අංගුවට ගෙන තිබෙන ඒවා සම්බන්ධයෙනුත් මම ඒ නිලධාරීන්ට වරින් වර කියලා තියෙනවා. කවුරුත් දන්නවා හමුදාවේ බුද්ධි අංශවල නිලධාරීන් මාස 10ක් පමණ රිමාන්ඩ් බාරයේ තියාගෙන ඉන්නවා. මේ අංශ භාර අය මට මුලින්ම කිව්වා සති දෙකයි කියලා. පසුව කිව්වා මාසයයි දෙකයි කියලා.‘ යැයි ඔබේ කතාවේ එක් තැනක සඳහන් විය. ඔබ වරින් වර එම විමර්ශන කරන නිලධාරීන්ට කියා ඇත්තේ මොනවාදැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු.  ඔබේ එදා කතාවත් සමඟ අප මීට පෙර ද මේ ගැන ප්‍රශ්න කළ ද ඊට පිළිතුරක් නොලැබිණි. සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තබා ගන්නා කාලය ගැන ඔබ වරින් වර විමර්ශන නිලධාරීන්ගෙන් අසා ඇති බව ඔබේ ප්‍රකාශයෙන්ම තහවුරු වෙයි. ඔවුන්ගේ රිමාන්ඩ් කාලය ගැන පසුතැවෙන ඔබ විමර්ශනයට අවශ්‍ය තොරතුරු පමා කිරීම ගැන යුද හමුදා නිලධාරීන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි දැන ගැනීමටද අපි කැමැත්තෙමු. යුද යමුදාව තොරතුරු ලබා නොදීම වැරදි බව යුද හමුදාව විසින්ම කළ විමර්ශනයකදී තහවුරු කර ඇති වග ඔබ නොදන්නේදැයි අපි නොදනිමු.

17.  බලයට පත්වී මාස තුනෙන් රතුපස්වල ගැටළුවලට විසඳුම් දෙන බවට 2014 දෙසැම්බර් 25 වැනිදා රතුපස්වලට ගොස් ඔබ දුන් ප්‍රතිඥාව බව ඔබට මතක ඇතැයි සිතමු. ඔබ බලයට පැමිණ ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමැතිවරයාද වී වසර දෙක එක හමාරකටත් වැඩිය. රතුපස්වල වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවි කිහිපයක් තවමත් යුද හමුදාවෙන් බාර දී නැති බව ඔබ නොදන්නවාදැයි අපි නොදනිමු. යළිත් වරක් සිහිපත් කිරීමට ඇත්තේ යුද හමුදාව භාර ඇමැතිවරයා ද ඔබම බවයි.

18.  මීට වසරකට පෙර නාවික හමුදාපතිවරයාව සිටි රවීන්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියකුට පහරදෙනු ලැබීමේ සිද්ධිය ද යළි සිහිපත් කිරීමට කැමැත්තෙමු. නාවික හමුදාව භාර ඇමැතිවරයා ද ඔබම වන අතර එම සිදුවීමෙන් පසු නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට උසස් කළේ ද ඔබ විසින්මය. එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මේ වන තෙක් සාධාරණයක් ඉෂ්ඨ වී නැත.

ජනාධිපතිතුමනි,
19.  පසුගිය රජය සමයේ සිදුවූ මාධ්‍ය මර්දනය ගැන ඔබ නිතර කතා කරයි. ජනතාව ජනවාරි අට වැනි දා මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ඔබ ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ පසුගිය රජයේ සිදුවීම් නැවත සිදු නොවීමටය.

20.  මහින්ද රාජපක්ෂ රජය වෙනස් වී මේ වන විට වසර දෙක හමාරක් පමණ ගත වී ඇත.  එම කාල වකවානුවේ දී ජනමාධ්‍යවේදීන්ට සිදුවූ තාඩන පීඩන සම්බන්ධයෙන් එකම සිදුවීමකවත් අවසානයක් කරා ගොස් සාධාරණයක් ඉෂ්ඨ වී නැත. එමෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ ද සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ද කිසිවක් සිදුවී නැත.

21.  ලංකා ඊ නිවුස් බෙව් අඩවියට පිවිසීම නතර කිරීමෙන් යලිත් පෙන්නුම් කරන්නේ වත්මන් රජයද පැවැති රජය ගිය අඩිපාරේ යෑම ආරම්භ කර ඇති බවයි.

22.   මේ වන විට ඔබේ ධූර කාලයෙන් අඩක්ම අවසන් බව යළිත් සිහිපත් කිරීමට කැමැත්තෙමු.   එනිසා අපි යළිත් වරක් ඔබෙන් ඉල්ලා සිටින්නේ ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබු ජනාධිපතිවරයා ලෙස ජනතාවට ඇහුම් කන් දෙන ලෙසයි. ලංකා ඊ නිවුස් වාරණය වහා නතර කරන ලෙසත්, පසුගිය දශකයේ සිදුවූ මාධ්‍ය මර්දනය ගැන සොයා බැලීමට වහාම ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසත්, මාධ්‍ය මර්දනය පිළිබඳ විමර්ශන කඩිනම් කිරීමට අදාළ අංශ වලට උපදෙස් ලබා දෙන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,

විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article