spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා වැළදී මිය ගිය ස්වාමිය එනතෙක් රෝහලේ රැඳී සිටින මිතුරා

Must read

dogwuhan

මියගිය ස්වාමියා යළි එනතුරු වූහාන් රෝහලේ තෙමසක් බලා සිටින සුනඛයා

අප බොහෝ දෙනෙකු ජීවිතයේ අඳින බැඳීම් විවිධාකාරය. එය පවුලේ ළඟම ඥාතියෙකු හෝ තම ප්රේමවන්තයා හෝ ප්රේමවන්තිය කෙරෙහි වූ බැදීමක්, එසේත් නැත්නම් බිරිඳ හෝ ස්වාමියා ආදී වශයෙන් වන බැදීමක් හෝ ළඟම මිතුරා හෝ මිතුරිය කෙරෙහි වූ බැඳීමක් විය හැකිය. නමුත් යම් අවස්ථාවක අප හදිසියේම මියැදුණහොත් මේ බොහෝමයක් බැදීම් දේහය රැගෙන යන වළ අසලදී අපෙන් දුරස්වීම ස්වභාවිකය.
නමුත් ඇතැම් සතුන් තම ස්වාමියා කෙරෙහි දක්වන බැඳීම මේ සියලු බැඳීම් අභිභවා යන්නකි. විශේෂයෙන්ම මිනිසාගේ ළඟම හිතවතා යන විරුදාවලිය ලැබූ සුනඛයන්, තම ස්වාමියා කෙරෙහි දක්වන මහත් වූ භක්ති ආදරය බොහෝ මිනිසුන් තුළද දැකගැනීම උගහටය. ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය සමග, මේ භයානක වෛරසයෙන් මුලින්ම බැටකෑ චීනයේ වූහාන් නගරයෙන්ද අපට වාර්තා වන්නේ හද කම්පා කරවන එවැනිම වූ සුවිශේෂී බැදීමක කතා ප්රවෘත්තියකි.
දැනට මාස තුනකට පෙර කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් වූහාන් නගරයේ තායිකාං රෝහලට ඇතුළත් කෙරුණු තම ස්වාමියා පැමිණන තුරු සෑම දිනකම රෝහලට වී ඉවසීමෙන් බලා සිටින අමුත්තා එම රෝහල් කාර්යමණ්ඩලයට අමුතෙකු නොවීය. නමුදු වඩාත් කනගාටුදායක පුවත වූයේ මේ සුනඛයාගේ ස්වාමියා රෝහලට ඇතුළත් කර දින පහකට පසුව සංකුලතා උත්සන්න වීමෙන් මියගොස් තිබීමය. සිය වයෝවෘද්ධ ස්වාමියාට වෛරසය ආසාදිතව පසුගිය පසුගිය පෙබරවාරි මාසයේදී වූහාන් රෝහලට ඇතුළු කෙරෙන විට වයස අවුරුදු 7ක් වන මේ කුඩා සුනඛයාද රෝහල් කාර්යමණ්ඩලයේ සිත් දිනාගනිමින් ස්වාමියා සමග රෝහල වෙත පැමිණ තිබුණි. නමුත් තම ස්වාමියා යළි නොඑන බව නොදැන මාස තුනකට වැඩි කාලයක් තායිකාං රෝහලේ ලොබියේ මේ සුනඛයා ඉතා උනන්දුවෙන් බලා සිටින දසුන බොහෝ දෙනෙකුගේ නෙතගට කඳුළක් ගෙනදෙන දසුනක් බවට පත්විය. කරුණාවන්ත හදවත්වලින් පිරි රෝහල් කාර්යමණ්ඩලයේ මෙන්ම, රෝහලට පැමිණෙන ඇතැම් රෝගීන්ගේද සැලකිල්ල නිසා මේ සුනඛයා මේ තාක්කල් පෝෂණය වීය.
රෝහලේ වූ වෙළෙඳ සැලක හිමිකාරිනිය වන වූ කුයිෆෙන් මේ සිදුවීම හා සම්බන්ධ වන්නේ වූහාන් නගරය පසුගිය අප්රේල් මාසයේදී යළි විවෘත කිරීමත් සමගිනි. තමා මුලින්ම රෝහල වෙත යනවිට ලොබියේ නිසොල්මන්ව නමුත්, ඉතා උනන්දුවෙන් පෙරමග බලා සිටි සුනඛයා ගැන ඇය විමසිලිමත් වූවාය. සුනඛයාගේ හිමිකරු වෛරසය ආසාදනය වී, පසුව නිව්මෝනියා තත්ත්වයක් සමග මියගිය බව දැනගත් ඇය, මේ සුනඛයා රෝහලෙන් ඉවතට ගැනීමට උත්සාහ කළාය. නමුත් එය පහසු කාර්යක් නොවූ බව දැනගත් ඇය, මේ පුංචි සුනඛයා රැකබලා ගැනීමට සිතා ගත්තාය. ඇය ඌට ‘ෂියාඕ බාඕ’ හෙවත් (පුංචි වස්තුව) ලෙස නමක්ද තැබීය. “මේ පුංචි සුරතලා කිසිම අවස්ථාවක රෝහලෙන් පිටතට ගියේ නෑ. එයා තමන්ගේ ස්වාමියා සොයමින් රෝහලේ ගත කළා.” රෝහලේ පළමු මහලේ වූ වෙළෙඳ සැල පවත්වාගෙන යන කුයිෆෙන් කීවාය.
“තනිවී සිටින මේ සුනඛයාට මම බොහොම ආදරයෙන් කතා කළා. එයාට මාව හුරුවුණාට පස්සෙ කඩේට රැගෙන ආවා. සෑම උදෑසනකම මම කඩේ විවෘත කිරීමට පැමිණෙන විට ෂියාඕ බාඕ මා බැලීමටත් එනවා. සෑම දවසකම අවසානයේ එයා මාව දකිනවා.” වරක් ඇය හිතමතාම සුනඛයා රෝහලෙන් පිටතට ගෙනැවිත් අත්හරිද ෂියාඕබොහෝ කෙලින්ම දිවගොස් ඇත්තේ රෝහල තුළටය. ඇය පවසන්නේ මා මේ පුංචි සුනඛයාට ආදරය. කරුණාව දැක්වූවද, තමන්ගේ මුල් ස්වාමියා කෙරෙහි වූ භක්ති ආදරය ඌ කෙරෙන් බිඳකඳු අඩුවී නොතිබුණු බවය.
කෙසේ වෙතත් ඇතැම් රෝගීන් මෙම සුනඛයා රෝහලේ සිටිනවාට විරුද්ධ වී ඇති අතර, ඒ පිළිබඳ රෝහල් බලධාරීන්ට කළ පැමිණිල්ලකින් පසුව ෂියාඕ බාඕව වූහාන් නගරයේ කුඩා සත්ත්ව ආරක්ෂණ සංගමයක් වෙත යොමු කිරීමට රෝහල් බලධාරීන්ට සිදුවිය. එම සංගමයේ අධ්යක්ෂ ඩු ෆෑන් කියා සිටියේ ඔවුන්ගේ ආදරය හා කරුණාව සමග පුංචි සුනඛයා සුවෙන් හා සැපයෙන් කල් ගෙවන බවය. එමෙන්ම බොහෝ දෙනෙකු මේ සුනඛයා පිළිබඳ සොයා බලන බවද ඔහු කීවේය. නමුත් ෂියාඕ බාඕ තවමත් තම මුල් ස්වාමියා ගැන වූ ස්නේහය නම් අඩු කරගන්නා කියා විශ්වාස කළ නොහැකිය.

නරේන් විශ්වජිත්

Image may contain: dog
Image may contain: dog, nature and outdoor
Image may contain: people sitting and dog
Image may contain: dog
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article