spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගංවතුරේ දේශපාලන ඔරු පැදිල්ල හා මාධ්‍ය පොරබැදිල්ල

Must read

wenn rain issue 1පසුගියදා ඇති වූ ගංවතුර, ජලගැලීම් සහ නායයෑම් නිසා රට තුළ ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගත වී ඇත. සියල්ලටම පෙර මෙහි පසුපස ඇති නිධාන කථාව අවබෝධ කරගත යුතුය; ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටක් පසුගිය දශකය දෙක තුළ ඉතා ළඟළඟම ස්වාභාවික විපත් රැසක අලාභහානිවලට මුහුණදුන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතුය.

කුඩා කල අප අසා තිබුණේ ශ්‍රී ලංකාව ස්වාභාවික විපත් ඉතාම අඩු වාසනාවන්ත රටක් ලෙසිනි. එහෙත් තත්ත්වය පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ශීඝ්‍රයෙන් වෙනස් වූයේ ඇයි?

ජීවිත හානි විශාල ප්‍රමාණයක්, අවතැන්වීම් දසසහස් ගණනක් සමඟ සාමාන්‍ය ජන ජීවිතය අඩාළ වීම් රැසක් මේ දිනවල අසන්නට ලැබෙන්නේ උණුසුම් පුවත් ලෙසිනි. රජය, අදාළ අමාත්‍යාංශ සමග එක්ව විපතට පත් වූ ජනතාවට සහන සැලසීමට යම් යම් සාධනීය පියවර ගෙනතිබුණත්, ප්‍රාදේශීය නිලධාරී මට්ටමෙන් ඔබ්බට එය සාර්ථකව ක්‍රියාත්මක වූවාදැයි දෙවනුව සිතිය යුතු කාරණයකි. කෙසේ නමුත් මෙවර වෙසක් සමයේ දන්සල්, විපතට පත් වූ ප්‍රදේශවල සහෝදර ජනතාව වෙනුවෙන් ලබා දෙනවා නම් එහි ආනිසංස නියත වශයෙන්ම ලැබෙනු ඇත.

මුලින්ම මේ ස්වාභාවික විපත් අතරින් මෑතභාගයේ දරුණු හානි ඇති කළේ නායයෑම්ය. මීරියබැද්ද, අරණායක, කොස්ලන්ද ආදි ප්‍රදේශ ඊට කදිම නිදසුන් වෙයි. කාලයත් සමග රටේ ජන ඝනත්වය ක්‍රමයෙන් වැඩි වෙයි. ඊට අවැසි නිවාස, ඉඩකඩම් ගොවිබිම් එන්න එන්නම අඩු වනවා මිස වැඩි වීමක් නැත. මීට දශක දෙකකට පෙර රටේ තිබුණු ජනගහනය, නාගරිකකරණය අතර වෙනස ඉලක්කම්වලින් බැලුව හොත් විශාල අගයක පරතරයක් සහිත වෙයි. එමෙන්ම ඊට සාපේක්ෂව රටේ වනගහනය සියයට 4ත්-5ත් අතර අගයකින් පසුගිය දශක දෙකතුළ අඩු වී ඇත. එනම් මේ වනාන්තර එළිපෙහෙළි කොට ජනතාව සිය ඉඩම් අවශ්‍යතාව අනවසරයෙන් හෝ අවසරයෙන් සකසාගෙන ඇත. එහිදී කඳූ බෑවුම්වල සිදුකරන කැලෑ එළිපෙහෙළි කිරීම්වලදී විශාල ගස් කපා දැමෙයි. නැවත සිටුවීමක් නැත. පොළොවට කිඳාබැස තිබුණු මුල් පද්ධති සහිත වනස්පතීන් කපා හෙළීම හරහා මතුපිට පස් ස්තරය සෑහෙන තරම් බුරුල් ස්වභාවයක් ගනියි. අධික වර්ෂාවකින් පසු ඒ මතුපිට ස්තරය වැරගැන්වීමකින් තොර නිසා ලෙහෙසියෙන්ම ඛාදනයට ලක් වේ. කඳූබෑවුමක වනය එළිපෙහෙළි කර හෝ කළුගල් කැඩීමක් හෝ සිදු කර ඇත් නම් තත්ත්වය වඩාත් දරුණු වෙයි. එවිට ගංගාවක් ගලාබසින්නාක් මෙන් දිය වූ පස් මඩ ප්‍රවාහය පහළින් ඇති නිවාස හෝ ඉදිකිරීම් විනාශකරමින් පහත් බිම දෙසට ගලා බසියි. මෙය මිනිසාගේ වැරැදි පුරුදු සහ ක්‍රියාකාරකම් නිසා සිදු වුවද, මෙය අතිශය ස්වාභාවික ක්‍රියාවලියකි. කඳූ නායයෑම්, ගංගා පිටාරගැලීම් සොබාදහමේ චක්‍රීය ක්‍රියාවලියේ යහසාධකයන්ය. නමුත් මිනිසුන් විසින් පරිසරය ආක්‍රමණය කොට නුසුදුසු ප්‍රදේශ වල කිසිදු වගවිබාගයකින් තොරව නිවාස තැනීම්, ගොවිබිම් ඇතිකිරීම් සහ කලින් කලට පැමිණෙන ආණ්ඩුවලින් කිසිදු සොයාබැලීමකින් තොරව ඉදි කරන කුඩා විදුලි බලාගාර හරහා මෙය විනාශයක් තත්ත්වයට පත් වී ඇත. මුදලට පරිසර ශක්‍යතා වාර්තා හදන නිලධාරීන් නිසා දුක් විඳින්නේ අසරණ ජනතාවය. මෙලෙස සිදු වන හානි, පාංශු සංරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කළා නම් අවම වන්නට ඉඩ තිබිණි. එහෙත් මිනිසුන්ගේ නූගත්කම, නොදැනුම්වත්භාවය වැනි කාරණා නිසා මෙලෙස කඳූකර වතු නිවාසවල ජනයා නිරන්තරයෙන් පීඩා විඳිති. අපට නායයෑම් නැවැත්විය නොහැකිය. එහෙත් එයින් වන හානිය අවම කරගත හැකිය.

මීළඟට අපේ අවධානය යොමු වන්නේ ගංවතුර කෙරෙහිය. අධික වර්ෂාව නිසා වැසි ජලය, ජලපෝෂක ප්‍රදේශවලින් නිකුත් වන ජලය මෙන්ම, විශාල ජලාශ වාන් දැමීම නිසා නිකුත් කෙරෙන අධික ජලපරිමාව හේතුවෙන් ගංවතුර තත්ත්වයන් ඇති වෙයි. අප්‍රිකා මහාද්වීපයේ වසරකට වරක් සිදු වන මහා නයිල් නදී ගංවතුර එම රටවල් කිහිපයටම ආශීර්වාදයකි. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි දැවැන්ත ගංගා පද්ධතියක් නොමැති නිසා වාසියකට වඩා සිදු වන්නේ හානියකි. ගංගාවන්හි සිදු වන අක්‍රමවත් වැලි ගොඩ දැමීම, ගං ඉවුරු විනාශ කරමින් සිදු කරන මහා පරිමාණ ඉදි කිරීම්, ගංගා ඉවුරු ආශ්‍රිත දැවැන්ත වෘක්ෂලතා කපා දැමීම්, කඩොලාන බිම් විනාශ වීම්, තෙත් බිම් ගොඩකිරීම් ආදිය නිසා ගංවතුර ඇති වෙයි. එය තවත් ස්වාභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක, ශ්‍රී ලංකාවට බලපාන අඳුරු සෙවණැල්ලකි. කොළඹ නගරය ආසන්නයේ ඇති කැලණි ගඟ මෑතකාලයේ සිට ගත හැකි හොඳම උදාහරණයකි. ඒ අවට වාසය කරන ප්‍රදේශවාසීහු කිකලෙකවත් ගඟ අතහැර නොයති. වසරකට දෙවතාවක් පමණ නිවාස යට වන මුත් ඔවුන් එය අත්නොහැර යන්නේද රජයේ සහ ජනතාවගේ හොඳහිත අවභාවිතයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. නගරයෙන් පිට ගම්මාන බොහොමයකට ගංගා පිටාර ගැලීම නිසා සිදු වන ගංවතුර දැඩි බලපෑමක් එල්ල නොකරන බවක් පෙනී යයි. මක් නිසාද යත්: එම ප්‍රදේශයන්හි පුද්ගල මරණ වාර්තා වීම අඩු වීම නිසාත් එමෙන්ම ඒ ජනතාව හට ගඟේ හැසිරීම ගැන හොඳ අවබෝධයක් පැවතීම නිසා පළපුරුද්දෙන් කළ යුතු සියල්ල සිදු කරන නිසාත් යන්න අදහස් කළ හැකි වෙයි. එලෙසින්ම කැලණි ගංගාව අවට ජීවත් වන ජනතාව මෙන්ම කැලණියේ සිට රාගම දක්වා දුම්රිය මාර්ගය අසල සිටින ජනතාවද ඊට දෙවැනි නැත. ඔවුහු කිසිකලෙක ඒ ප්‍රදේශ හැරදමා නොයති. ගංවතුරෙන් පසු ආධාර ලැබෙන නිසාත්, වෙනත් නිවාස හා මුදල් ආධාර ලැබෙන නිසාත් ඔවුන් එය හැරයන්නේ නැත. නිරන්තරයෙන් ආධාර ලැබෙන බව ඔවුහු හොඳාකාරවම දනිති. එබැවින් රජය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් ගෙන මේ අනවසර ඉඩම්වල රැඳී සිටින පැල්පත්කරුවන් එම ප්‍රදේශවලින් ඉවත් කොට වෙනත් නිවාස ලබාදිය යුතු වෙයි. කොළඹ ජලගැලීම් ඉතිහාසය ඉතා දිගුය. කොළඹ නගරයේ ජලාපවහන පද්ධතිය හා පල්දෝරු පද්ධති බ්‍රිතාන්‍ය පාලන සමයේ සැලසුම් කළ ඒවා වෙයි. එනම් අදින් වසර 120කට වඩා පැරැණිය. ඒ කාලය තුළ ජනගහනය කිහිපගුණයකින් ඉහළ ගොස් ඇති අතර, ගොඩනැගිලි හා නිවාස ප්‍රමාණයද ඊට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. ඉදින් මේ ජලය බැස යෑමේ පද්ධතියට මෙවැනි ජන ඝනත්වයක් නිසා ඇති වන අපජලය ප්‍රමාණය පමණක් නොව, ජලය බැස යෑමට හිස් බිම් නොමැති නිසා සුළු වර්ෂාවකදී එකතු වන ජලය බැස යෑමට සැලැස්වීම කිසි සේත් කළ නොහැකිය. එමෙන්ම මෑතදී කොළඹ නගරයේ සිදු කළ සියලු ඉදිරිකිරීම් හා නගර අලංකරණ කටයුතු සදහා අවශ්‍ය නගර නිර්මාණ ශිල්පීන්, වාස්තු විද්‍යාඥයන්, තරලගති විද්‍යාඥයන්, ඉංජිනේරුවන් නියමිත පරිදි සේවයේ යොදවා නැති බවක් පෙනෙයි, එසේ යෙදවූවා නම් මේ ජලය බැසයෑමේ ගැටලුවට නිසි පිළියම් යොදනු නොඅනුමානය. මහානගර සංවර්ධනය යටතේ මුලින්ම කළ යුත්තේ මෙම කානු පද්ධතිය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමයි. එසේ නොකොට කරන සියලු පැලැස්තර සංවර්ධන හා අලංකරණ කටයුතුවලින් ජනතාවට අත් වන ප්‍රතිලාභයක් නොමැත. එසේ නොමැතිව නගරය සුන්දර කළායැයි මතුපිටින් කරන රැවටීමේ විපාක අද අපි අත්විඳිමින් සිටිමු. තවත් සුවිශේෂ කාරණාවක් වන්නේ මහජනතාව විසින් අපද්‍රව්‍ය, කැලිකසළ ආදිය නිසි තැන නොදමා කානුවලට දැමීම නිසා කානු පද්ධති අවහිර වී වතුර පිටාර ගැලීමයි. එහෙත් මේ මිනිසුන්ම වෙනත් රටකදී මෙලෙස කුණු දමන්නේ නැත.

එලෙසින්ම පහත්බිම් සියල්ල නිසි අධ්‍යයනයකින් තොරව ගොඩකිරීම නිසා වතුර බැස යෑමට තැනක් නොමැත. කොළඹ නගරයේ නම් බේරේ වැව මෙවැනි වැසි කාලකදී මුහුදට විවෘත කොට එය පිරිසුදු වීමට ඉඩහැරියා නම් එය නගරයේ පිරිසුදුභාවයට හා සුන්දරත්වයටත් හේතුවක් වනු ඇති.

රසවත්ම කතාව සහ අපේ ප්‍රස්තුතයට අදාළ කොටස දැන් සාකච්ඡා කළ යුතුව ඇත. ප්‍රාදේශීය දේශපාලනඥයන්ට පමණක් නොව ජාතික දේශපාලනඥයන්ටද වැස්ස, ගංවතුර, ජලගැලීම්, නායයෑම් සහ නියං යනු වෙස්වළාගත් ආශිර්වාදයෝ වෙති. ඔවුන්ට එය සිය ඡන්ද ගොඩ වැඩි කරගැනීමටත් මහජන ප්‍රසාදය ලබාගැනීමටත් මහගු අවස්ථාවක් වෙයි. කොමිස් ගැසූ මුදල්, යටි මඩි ගැසූ මුදල්වලින් කොටසක් වැය කොට විශාල ප්‍රසිද්ධියක් ලබා දී විපතට පත් වූ අය වෙත ආධාර උපකාර ලබා දෙයි.

වැලේ වැල් නැතිව සිටින ජනතාවට සොච්චම් මුදලක්, වහලට සෙවිලි තහඩුවක්, බත් පැකට් එකක් ඒ අවස්ථාවේදී මහමෙරකි. කිසිම සද්දයක්-බද්දයක් නොමැතිව සිටින කිසිදු කමකට නැති දේශපාලනඥයන් කලඑළි බසින්නේ ආපදා අවස්ථාවන්හිදී පමණි. බලපුළුවන්කාරකමේ ප්‍රබලතාව මත ප්‍රචාරය රඳාපවතියි. ගමේ මිනිසුන්ට සලකන්නට දෙපිල බෙදී ගහමරාගන්නා අවස්ථා එමටය. එවැනි අවස්ථාවදී දේශපාලකයන් හඳූනාගත හැක්කේ මෙවැනි අවස්ථාවන්හිදී පමණි. ඔවුන් පළමුවෙන්ම පැමිණ කරන ඒ සුළු ආධාරය මාධ්‍ය හරහා ප්‍රචාරණය වීම නිසා ඔවුන්ට යම් වටිනාකමක් ක්ෂණිකව හිමි වෙයි. ජනතාවගේ දුක විකුණාගෙන කන්නට පුරුදු දේශපාලකයන් හට එය එතරම් දෙයක් නොවේ. ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද මෙය පොදුය. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඔවුන් බලයේ සිටිද්දී නොදැනුණු දුකක් ඔවුන් හට දැනෙන්නට පටන්ගන්නේ බලය අහිමි වීමත් සමගය. මෙවැනි ස්වාභාවික විපත්වලදී දේශපාලන පක්ෂය හෝ සිය ඡන්දය වෙනුවෙන් ආත්මය විකුණන මෙවැනි නරුමයන් ජනතාව හඳූනාගත යුතුය.

ආපදාවකදී රඟදැක්වෙන අනෙක් නාටකය වන්නේ මාධ්‍ය ආයතනවලින් ආධාර බෙදීමට දක්වන තරගයයි. සුනාමි ව්‍යසනයේදී මාධ්‍යවලට මෙය හොඳ ප්‍රචාරණ මාධ්‍යයක් බව වැටහුණු අතර, ජනතාව විසින් ලබාදුන් ආධාර ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියට පමණක් මැදිහත් වී ඒ හරහා දැවැන්ත ප්‍රචාරණයක් ඔවුහු ලබති. මෙය සද්භාවයෙන් කෙරෙන්නක් බව සැබෑය. එහෙත් දිගින් දිගටම ආපදා තත්ත්වයන් ඇති වීම මාධ්‍ය ආයතනවලට ‘පිනා චාන්ස්’ එකකි. මාධ්‍ය ආයතන මේ අවස්ථාවේ සිදු කරන මානුෂීය සත්කාර අගය කළ යුතුය, අනික් මාධ්‍ය ආයතනයට කලින් අපි ආධාර බෙදුවා යැයි වගාඩම්බර කීම නොව මාධ්‍යයක අරමුණ ‘ගංවතුර සීසන්’, ‘නියං සීසන්’ එකට ආධාර බෙදීම නොව, එකී ප්‍රදේශවල ජීවත් වන ජනතාව වසර පුරා දැනුම්වත් කරන ප්‍රජා සත්කාරයන් සිදු කර, එම ප්‍රදේශවලින් ඔවුන්ව ඉවත් කොට විකල්ප සඳහා මාර්ගය විවර කරදීම සහ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් තුළ හැඟීම්බර නොවී ඉතාම නිවැරැදි සහ විශ්වසනීය තොරතුරු පමණක් ජනතාවට ලබාදීම වෙයි. මක් නිසාද යත්: දුරකථන මාර්ග, විදුලිය පවා ඇනහිට ඇති මොහොතක, රාජ්‍ය නිලධාරීන් නිද්‍රාශීලිව සිටිනා අවස්ථාවක ජනතාවට තොරතුරු ගෙන යා හැකි සහ කිව හැකි එකම මාර්ගය වන්නේ විද්යුත් මාධ්‍ය ආයතන වන නිසාය. එබැවින් දේශපාලනඥයන්ගේ පටු න්‍යායපත්‍රවල ගොදුරු නොවී මාධ්‍ය සිය යුතුකම කුමක්ද, වගකීම කුමක්ද යන්න හරිහැටි හඳුනාගෙන කටයුතු කරනවා නම් ඕනෑම ස්වාභාවික විපතකදී ආපදා කළමනාකරණය කරගැනීම අපහසු වන්නේ නැත. මේ දිනවල රටට බලපාන අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවට පත් ජනතාවට, මියගිය ජනතාවට ශෝකය පළ කරනවාත් සමග ඔවුන් සමග නැවත ධෛර්යයෙන් යුතුව නැගී සිටින්නට මුළුමහත් ජාතියම ඔබ සමඟ සිටිනා බව මතක තබාගන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article