spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෞරවණීය නගරසභාවකට…

Must read

MC-NGB

මීගමුව මහ නගර සභාවේ ජුනි මාසික රැස්වීම වාර්ථා කරන්නට එහි ගොස් ආපසු පැමිණෙමින් සිටි මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතා එදින නගර සභා බිමේදීම මැර ප්‍රහාරයකට ලක්විය. ඒ පිළිබදව ඔහුගේ චෝදනාව එල්ල වන්නේ මීගමුව මහ නගර සභාවේ උප නගරාධිපති දයාන් ලංසාටය. එය ඉතා බරපතලය. ඒ නිසා ඒ පිළිබදව නිසි ආකාර පරීක්ෂණයක් සිදු කිරීම පොලීසියේ වගකිවයුත්තන්ගේ කාර්‍යයන්ය.

අප මතු කරන්නේ වෙනත් කරුණු කිහිපයක්ය.

ෆ්‍රෙඩී ගමගේ යනු මාධවේදියෙකි. මාධ්‍යවේදියෙකුගේ කාර්‍යභාරය වන්නේ ජනතාව වෙත සත්‍ය සිදුවීම් වාර්ථා කිරීමය. එය අද ශීලාචාර ලෝකය පිලිගත් මූලික කරුණකි. විශේෂයෙන් රජයේ මුදලින් නඩත්තුවන මහජනතාවට සෘජුව සම්බන්ද වන ආයතන පිළිබදව සත්‍ය තොරතුරු හෙලි කිරීම මාධ්‍යකරුවාගේ වගකීමය. එහිදී ආයතනයක කාර්‍ය පටිපාටිය මහජනතාවට යහපතක් වන ලෙස යෙදවෙනවාද අයහපතක් වන ලෙස යෙදවෙනවාද යන්න තීරණය කිරීම මහජනතාව සතු කාර්‍යය වෙයි. මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු සපයන්නේ නම් ඒ පිලිබදව ගත හැකි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අපේ නීති පද්ධතියේ වෙයි. ශිෂ්ඨ නීති තිබියදී වෙනත් ක්‍රියාමාර්ග වලට යමෙක් යොමු වන්නේ නම් එතැන ඇත්තේ වනචාරී නිතීයයි. කැලෑ නීතියයි.
පෞද්ගලික ආරවුලකදී හෝ මෙබදු සිද්ධීන් ශීලාචාර සමාජයක නොසිදුවිය යුතු දෑ වෙයි. මෙවැනි සිද්ධීන් මගින් පෙන්නුම් කරන්නේ අප තවමත් ගෝත්‍රික සමාජයක ජීවත් වන බවයි. ඉහළ සාක්ෂරතා දැනුමක් ඇතැයි පැවසුනත්,නගරය පුරා පල්ලි පන්සල් කෝවිල් අඩියෙන් අඩිය තිබුණත්, නතරය පුරා සුරුවම් පිළිම තිබුණත් මීගමුව තවමත් ගෝත්‍රික ලක්ෂණ වලින් බැහැර වී නැති බව මෙබදු දෙයින් සනාථ වෙයි. එසේම පෙන්වා දිය යුතු කරුණ වන්නේ මාධ්‍ය මර්ධනය සදහා මහින්ද රාජපක්ෂ යුගයේ යොදා ගැණුනු ක්‍රමෝපායන් මෛත්‍රී රනිල් යුගයේද සිදුවන්නට ඉඩ ඇති බවයි. මහින්දගේ සාටකයේ එල්ලී සිටින අවතාර මෛත්‍රීපාලගේ මෝදි කබාය තුලද සැඟව සිටී.
ජනාධිපති මෛත්‍රීපාල හා අගමැති රනිල් ඔවුන්ගේ ඇදුම් පැළදුම් හොදින් ගසා බසා පිරිසිදු කර නොගතහොත් අවසන ඔවුන්ද රැදෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ රැදුනු දේශපාලන කුණු බක්කියේම බවද ලියා තැබිය යුතුය.
එසේම කිවයුතු අනෙක් කරුණු වන්නේ අපට ඔවුන් සමග විශේෂ බැදීමක් හෝ ඔවුන් කෙරේ විශේෂ වන්දනාවක් හෝ නැති නිසා ඔවුන් කුණු බක්කියේම රැදීම පිළිබදව අපට කණගාටුවක් නැති නමුත් දේශය වනචාරී වීම පිලිබදව මාතෘ භූමියට ආදරය කරන්නන් ලෙස අපට කණගාටුවක් අඇති වන බවයි.

මහනගර සභා භූමිය යනු නගරයේ ප්‍රධාන පුරවැසියා වන ගරු නගරාධිපත්ගේ හා මහජන නියෝජිතයන් වන ගරු නගර සභිකයන්ගේ නිල වාසස්ථාන භූමියයි.

අපේ නිවසට පැමිණෙන්නෙකු හෝ පැමිණ යන්නෙකු හෝ අපේ නිවසේදී පිටස්තරයෙකුගෙන් පහර කෑමට ලක්වීම අප සළකන්නේ අපේ ආත්මගරුත්වයට සිදුවන හානයක් ලෙසයි. ඒ අප නිවටයින් සේ සැලකීමට ලක්වන නිසයි. මහ නගර සභා භූමිය යනු නගර සභාවට වරිපනම් බදු ගෙවන හැට දහසකු පමණ වන පිරිසකට බියක් නැතිව යාහැකි තැනක් විය යුතුය. නගර සභාවට ඇතුලතින් හෝ පිටතින් හෝ එහි යන එන්නන්ට පහර එල්ල වන්නේ නම් එහි වගකීමෙන් මිදීමට නගරාධිපතිට හෝ නගර සභිකයන්ට හෝ හැකියාවක් නැත. දේශපාලන පක්ෂ භේදයෙන් තොරව තම නගර සභාව ගෞරවනීය තැනක් බවට පත් කර ගැනීමේ වගකීම ඔවුන් සතු වෙයි. කොතැනක් හෝ සිදුවන ඉතා සුළු සිද්ධියක් පවා ලෝකය පුරා විහිදෙන්නට අද ගතවන්නේ තත්පර ගණනකි. වත්මන් ලෝකය තාක්ෂණය අතින් අද අපමණටම දියණුය. එබදු තත්වයක් තුල මෙබදු සිද්ධීන් මීගමුව මහ නගර සභාවට අත්කර දෙන්නේ කෙබදු ඉරණමක්ද? මීගමුව ගරු නගරාධිපති හා නගර සභිකයින් මේ පිළිබදව දැඩි අවධානය යොමු කල යුතු වන්නේ එහෙයිනි.ඒ නිසා පක්ෂ භේදයකින් තොරව

1. මහනගර සභාව මෙම ප්‍රහාරය දැඩිව හෙළා දැකිය යුතුය.

2. මෙම ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිකර ගැනීමට පොලීසිය ඇතුළු අදාල ආයතන වලට සහය විය යුතුය.

3. ඉදිරියට මෙවන් සිද්ධීන් සිදු නොවීමට අවශ්‍ය ක්‍රියා මාර්ගගනිමින් වරිපනම් බදු ගෙවන්නන්ගේ විශ්වාසය තහවුරු කල යුතුය.

4. මේ සියල්ලන්ටත් වඩා දූෂණය , වංචාව, හා නීති විරෝධී ක්‍රියා මාර්ග පිටු දකිමින් මහත්මා දේශපාලනයක් මීගමුව තුල ගොඩනැංවීමට පියවර ගත යුතුය.

අපේ පැතුම එයයි.

..වෙල්ගම

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article