ජන්ද හිමි නාම ලේඛන චීස් කොත්තු හා පූක්කුලම්

0
73

පුක්කුලම 1

විල්පත්තු ආශ්‍රිත පූක්කුලම් වනය එළිපෙහෙළි කිරීම පිලිබඳ වත්මන් රජයේ ඇමතිවරයෙක් වෙත චෝදනා නගන භික්ෂූන් වහන්සේ නමක් දුටිමි.
අදාළ රූපවාහිනි නාලිකාවද ඒ සඳහා දුන් ගුවන් කාලය සුවිශේෂි වන අතර මේ ඒ ගැන නොවේ.
පරිසරය රකින සටනට අප සැවොම සහාය දිය යුතුය.
එහෙත් එකී සංවාදය තුළ අදාළ භික්ෂූන් වහන්සේ දැක්වූයේ ජන්ද හිමි නාම ලේඛන රජයේ කවර බලවත් පාර්ශ්වයකට වුව වෙනස් කිරීම ඉතා සරලව කල හැකිය යන්නයි.
අදාළ අමාත්‍යවරයා එහිදී වසර කිහිපයක ජන්ද හිමි නාම ලේඛන ප්‍රදර්ශනය කල අතර එකී භික්ෂුන් වහන්සේට අනුව ඒවා වෙනස් කිරීම ඉතා සරල කාර්යයකි. එවැන්නක් සිදු වේයැයි උපකල්පනය කළහොත් ඒ සදහා සහාය දිය යුතු පාර්ශව ගණනාවකි.පුක්කුලම 2

1. සභාපතිවරයා ප්‍රමුඛ මැතිවරණ කොමිෂන් සභාව (මෙහිලා එකී කාර්යය භාර අතිරේක කොමසාරිස්වරුන්ගේ සිට ප්‍රාදේශීය නිලධරයන් වන සහකාර/නියෝජ්‍ය කොමසාරිස් වරුන්ද ඒ ගැන දැන, අනුබල දිය යුතුය)


2. ප්‍රධාන ලියාපදිංචි කිරීමේ නිලධරයා වන දිස්ත්‍රික් ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරීවරයා

ඉහත නිලධරයන් එක් වුවද තවත් කාර්යයක් කල යුතුව ඇත. එනම් අදාළ (පසුගිය) වර්ෂවල ජන්ද හිමි නාමලේඛන වල සංයුක්ත තැටි දේශපාලන පක්ෂ වෙත හැම වර්ෂයකදීම භාර දී ඇති හෙයින් ඒවා යළි ඉල්ලා ගෙන සංශෝධනය කොට ව්‍යාජ ලෙස සකස් කල තැටිය දිය යුතුය.

මෙවන් උත්තමයන් සිතා සිටින්නේ ජන්ද හිමි නාම ලේඛන චීස් කොත්තු හදන්නා වාගේ හැම බඩ කඩුත්තුවක්ම දමා එක එකාට ඕනෑ ලෙස සෑදිය හැකැයි කියාය.

රටක අතිශය තීරණාත්මක ක්‍රියාවලියක් පිලිබඳ අවිචාරවත්ව හා ආධානග්‍රාහීව නන්දොඩවන මෙවන් භික්ෂුන්, කරුණු නොදැන හෝ චේතනාන්විතව ජනතාවට ඇද බාන බේගලයක තරම මින් මනාව වැටහෙන අතර අවසන පැවසිය යුත්තේ මෙවැන්නෝ පරිසරය රැක ගත්තේ වුව රකිනා රටක් නම් නැති බවය.
මංජුල ගජනායක