ජේෂ්ඨ මාධ්‍යවේදී තිලක් සේනාසිංහගේ “පැරණි මතක ගැන අලුත් දැනුමක්” කෘතියේ දොරටවැඩුම..

0
77

ජන විශ්වාස ගවේෂක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා ලියූ අලුත්ම ගවේෂණාත්මක ග්‍රන්ථය වන ‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ මෙම සැප්තැම්බර් 27 වැනි ඉරිදා ප.ව. 2.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ එළිමහන් පීඨිකාවේදී දොරට වැඩීමට නියමිතය.

මෙහිදී ‘බලි තොවිල් ශාන්තිකර්මවලින් සුවසෙත උදා කරගත හැකිද?’ යන මැයෙන් හිටපු මානව විද්‍යා මහාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් මානව විද්‍යාත්මක පදනමින්ද, විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා විසින් මනෝ වෛද්‍ය විද්‍යාත්මක පදනමින්ද කෙටි දෙසුම් දෙකක් පවත්වනු ඇත.

1960–1980 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පාඨක සංඛ්‍යාව පුළුල් පරාසයක් තෙක් විහිදුවාලූ, ‘මාරක කතා චක්‍රවර්ති’ යන පොදු ජන අභිධානයෙන් පිදුම් ලද අභාවප්‍රාප්ත ඩීමන් ආනන්ද මහතාගේ නමට ‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ කෘතිය පුද කොට ඇති අතර, ඒ මහතා නියෝජනය කරමින් ඔහුගේ එකම දියණිය වන වරුණි ෂර්මිලා ආනන්ද මහත්මිය වෙත එදින මෙම කෘතිය පිළිගැන්වෙනු ඇත.

කොළඹ, රත්නපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල හිටපු මහ දිසාපතිවරයකු වන සුනිල් කන්නන්ගර මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබන අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සැමට මෙම අවස්ථාවට එක්වන ලෙස සාදරයෙන් ආරාධනා කෙරේ.

‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ රාජගිරියේ ග්‍රැෆිකෙයා ප්‍රකාශනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here