spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දුම්රිය තුළ අනවසර වෙළඳාමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.දුම්රිය සාමාන්‍යාධිකාරී- එස්.එම්.අබේවික්‍රම

Must read

SriLanka-s11-train-ext

දුම්රිය සේවාව පවත්වාගෙන යනු ලබන්නේ මගීන්ගේ ප්‍රවාහන පහසුකම් ඉටු කිරීමටයි. එම නිසා දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවයන් හා අවහිරයන් අවම කිරීම දුම්රිය බළධාරීන්ගේ අරමුණයි. මෙහිදී දුම්රිය මගීන්ගෙන් කෙරෙන පැමිණිලි පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට දුම්රිය බළධාරීන් කටයුතු කරනු ලැබේ. මේ අතර දුම්රිය මගීන්ගෙන් නිරන්තරයෙන් ලැබෙන පැමිණිල්ලක් වන දුම්රියේ අනවසර වෙළඳාම පිළිබඳව කරුණු අවධාරණයට ලක්වී තිබේ.

දුම්රියේ කෙරෙන අනවසර වෙළඳාම් හේතුවෙන් දුම්රිය මගීන්ගේ ආරක්ෂාව පිළිබඳවත් මගීන්ට සිදුවන හිරිහැරය පිළිබදවත් එම වෙළෙඳුන් අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍යවල අනාරක්ෂිත හා ප්‍රමිතියෙන් බාල බවත් සැලකිල්ලට ගනිමින් කිසිසේත්ම දුම්රිය තුළ වෙළදාම් කිරීමට ඉඩ ලබා නොදෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

විශේෂයෙන් දුම්රිය තුළ සිදුකරනු ලබන සොරකම් පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී මෙම සොරකම් හා අනවසර වෙළෙඳුන් අතර සම්බන්ධයක් ඇති බවද ඇතැම් මගීන් පැමිණිලි කර තිබේ. කාර්යාල දුම්රියවල මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර දුර ගමන් සේවා දුම්රිය සේවාවලද මෙම වෙළෙඳුන්ගේ ක්‍රියාකලාපය එලෙසම පවතී. එමෙන්ම මෙම වෙළඳාම් මගී ජනතාවට හිරිහැරයක් බවත් ඇතැම් අවස්ථාවලදී දුරගමන් සේවාවල ගමන්ගන්නා මගීන්ට මෙම වෙළෙඳුන් තර්ජනාත්මකව හැසිරෙන බවත් මගීන්ගෙන් පැමිණිලි ලැබී තිබේ. මගීන් හා මෙම වෙළෙඳුන් අතර ගැටුම් ඇතිවු අවස්ථා පිළිබඳව ද වාර්තා වී ඇත.

විශේෂයෙන් දුරගමන් සේවාවල රාත්‍රී දුම්රියවල ගමන්ගන්නා මගීන් වෙළෙඳුන්ගේ හා සොරුන්ගේ අතවරයට ලක්වී තිබීමද විශේෂ කරුණකි. එමෙන්ම අනවසර වෙළෙඳුන් දුම්රිය ගමන්වාර වලදී දුම්රිය ගමන්ගැනීම සඳහා වලංගු ප්‍රවේශපත්ද ලබා නොගන්නා බවද වාර්තා වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තු මගීන් ටෙන්ඩර් කැඳවා ආපනශාලා පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූල අවසර ලබා දී ඇති දුම්රිය භෝජනාගාර සේවාවටද මේ මගින් බාධා එල්ල වී ඇති බවත් ඔවුන් යම් බදු මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන බවත් දුම්රිය තුළ අනවසර වෙළෙඳුන් හේතුවෙන් ඔවුන්ගේ ආදායම පහත වැටී ඇති නිසා ඔවුන්ගෙන්ද විරෝධතා ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

පසුගිය කාලය තුළ දිවිනැගුම ව්‍යාපාරය යටතේ සුළු වෙළෙඳාමේ යෙදෙන යම් පිරිසකට දුම්රිය තුළ වෙළඳාම් කිරීමට අවස්ථාව ලබාදුන් බවත් එයද අසාර්ථක වී ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. මහානාම අබේවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත දුම්රිය තුළ අනවසර වෙළඳාම් තහනම් කිරීමට දුම්රිය බළධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් දුම්රිය තුළ වෙළෙඳාම් කළ වෙළෙඳුන්ගේ ආදායම අහිමිවීම සැලකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය ස්ථාන හැර දුරබැහැර දුම්රිය ස්ථානවල වෙළඳාම් කිරීමට බාධාවක් නොවන බවත් දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා ප්‍රකාශ කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article