spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පූජකයන් අවදි කරනා “මනුෂ්‍ය පුත්‍රයා”

Must read

පාස්කු සතියේ ඇරඹුමත් සමග මාර්තු 25 සවස පුංචි රෝමය ලෙසින් නම්දරා සිටිනා මීගොමුවේ “මනුෂ්‍ය පුත්‍රයා” දැක බලා ගැනීමට අවස්ථාව සලසාලීම සම්බන්ධයෙන් අජිත් හැඩ්ලි, වෛද්‍ය ආලෝක, සමන් තුෂාර, ජයන්ත මෝදරගෙ කලාකාමී සොහොයුරන්ට අපගේ ප්‍රණාමය!
මිනිසා මිනිසාව කන්න බලාගෙන ඉන්නා ලොවක ජීවිතයම අන් අයට කන්න දෙමින් බොන්න දෙමින් මිනිස්කමේ පෙරළියක් කරනට ආ ජේසු නසරේනුලා ඒදත් අදත් මර්ධනය කර ඝාතනය කිරීමේ ඛේදවාචකය නොබියව හඬ නගා පෙන්වාලන්නට ගත්තා වූ අපූරු වෑයමක් සේ “මනුෂ්‍ය පුත්‍රයා” අප මනසේ රැඳෙනු ඇත.
දෙවිවරු කියාගන්නා හා දෙවිවරු වන්නට දඟලන එකාලම තම බලය රැකගන්නට දෙවිවරුන්ගේ දරුවන් මර්දනය කර ඝාතනය කරමින් එදත් අදත් අත සෝදාගෙන මඩ නා ගන්නා උජාරුව රංගයේ යටි පෙළින් අපගේ යටි සිත කළඹවාලයි.
කෝටි ප්‍රකෝටි මිනිසුන් කාලයේ වැලිතලාවේ වැසී යද්දී ජේසුතුමන්, බුදුහිමියන් වැනි ශ්‍රේෂ්ඨයන් අදත් මිනිස් හදවත් තුළ ජීවත් වන්නේ සත්‍ය යුක්තිය වෙනුවෙන් මරණය දක්වා ගෙන ගිය අරගලයයි. එවන් පුත්‍රයෙක් ගොල්ගොතාවේ කපාලයේ කුරුසයේ ඇණ ගසා මරා දැමීම පෙන්වාලන පාස්කුව ජේසු මැරුවේ ඇයිද යන්න යට යටගසා දේව බිය පොවමින් මුනිවත රකිනා සමයක විජිත් රෝහණ, ප්‍රියංකර රත්නායක ජේෂ්ඨ කථිකාචාර්ය සුසංයෝගය විශ්වවිද්‍යාල දරුවන් සමඟින් නොබියව කරළියට ගෙන ආ “මනුෂ්‍ය පුත්‍රයා” කිතුණුවන්ට සේම අන්‍යාගමික සිත් ඇත්තන්ට සිතන්නටත් ඇස් ඇත්තන්ට දකින්නටත් සැලැස්වීම මහා පින්කමකි.
පාස්කු කලාවේ භක්තිවාදයෙන් මිදී පූරකයන් වර්තමානයේ සිට රංග අභ්‍යාස මගින් කරනා විමර්ශන හා මැදිහත් බවින් ජවනිකා ගැට ගසාගෙන රංගය ගලා ගියේ සංගීතයෙනි.
රංග වස්ත්‍ර හා වර්ණ ඓතිහාසික තත්ත්වයන් නිරූපණයට උචිතා ලෙසින් මැනවින් නිර්මාණය කර තිබීම ප්‍රශංසනීයයි.
ඉතාමත් සංයමයෙන් වේදිකා පසුතල හසුරවා ගැනීම හා ඒවා අවකාශමය භාවිතය සඳහා මැනවින් යොදා ගැනීම විශේෂයෙන්ම අගය කළ යුතුව ඇත.
සමස්ත නාට්‍යයේම රිද්මය රැකගනිමින් ගීත ස්වර සංගීතය ඉටුකර ඇත්තේ ඉමහත් මෙහෙවරකි.
සාත්වික අභිනයන් මතුවන පරිද්දෙන් ආලෝක කදම්බ ඩැහැගන්නා අංගරචනයක් ඇතැම් චරිත වල නොතිබුනා සේම විදුලි ආලෝකයෙන් සමස්ත නාට්‍යටම මීට වඩා ආලෝකයක් ලබා ගත හැකිව ඇතැයි හැඟේ.
පුරෝකතන හා පසුකතන හැකි තාක් අඩු කරගෙන නාට්‍යමය අවස්ථා තුළින්ම රංගය ගොඩනගන්නට උත්සාහ ගන්නේ නම් මැනවි.
සමබරතාව ,අවකාශමය භාවිතය සමඟ ත්‍රිමාන හැඩතල හසුරුවා ගනිමින් නාට්‍ය පුරාවටම රංග වින්‍යාශය අති ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකොට තිබීම සඳහන් කළ යුතුමය.
ලාංකීය නාට්‍ය කලාව පෝෂණය උදෙසා “මනුෂ්‍ය පුත්‍රයා”වේදිකා රංගයෙන් ලබා දෙන නිර්මාණනීය දායකත්වය නුදුරේදී කාගෙ කාගේත් කතාබහට ලක් වනු නොඅනුමානය.
නාට්‍යකරණය හා රූපණ කලාව ප්‍රගුණ කරනා විශ්ව විද්‍යාල දරුවන්ටත්, අනුෂාංගික අංග ශිල්පීන්ටත් ජේෂ්ඨ කතිකාචාර්ය සුසංයෝගයටත් “මනුෂ්‍ය පුත්‍රයා” තුළින් දිගුගමන් යන්නට ධෛර්ය ශක්තිය සමඟින් වරම් වාසනා!

එස්.නෙවිල් ද සිල්වා
2024 03 25

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article