බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයෙන් ලේබර් පක්ෂයට අන්ත පරාජයක් – යළිත් දේශපාලන අර්බුදයක ලකුණු

0
32

බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයෙන් ලේබර් පක්ෂයට අන්ත පරාජයක් – යළිත් දේශපාලන අර්බුදයක ලකුණු

ඉතිහාසයේ පළමු වතාවට බ්‍රිතාන්‍යය රුසියාවේ යටත් විජිතයක් වේවිද?

————————————————————–

බ්‍රහස්පතින්දා පැවැත්වුණ පළාත් පාලන මැතිවරණවලින් පාලක ලේබර් පක්ෂයට අන්ත පරාජයක් අත් කර දෙමින් ජාතිවාදී රිෆෝම් පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමත් සමග බ්‍රිතාන්‍ය දේශපාලනයේ යළිත් වරක් ප්‍රබල අර්බුදයක් මතුවන ලකුණු පහළවෙමින් තිබෙනවා.

මැතිවරණයෙන් පාලක ලේබර් පක්ෂයට ආසන 1496ක් අහිමි වෙද්දී නයිජල් ෆරාජ් ගේ නායකත්වයෙන් යුත් Reform UK පක්ෂය තවත් ආසන 1451ක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ප්‍රධාන විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂටත් අන්ත පරාජයක් අත්වෙද්දී, ලිබරල් ඩිමොක්‍රට් පක්ෂය තවත් ආසන 155කුත්, හරිත පක්ෂය මෙතෙක් දිනාගෙන තිබුණාට වඩා ආසන 441 කුත් දිනාගෙන තියෙනව. පැහැදිලිවම හරිත පක්ෂයටත් මේක විශාල ජයග්‍රහණයක්.

ඒ වගේම අවුරුදු 100කටත් වඩා කාලයක් ලේබර් පක්ෂය බලය හොබවපු වේල්සයේ විමධ්‍යගත පරිපාලනය මෙවර දිනාගෙන තියෙන්නේ ජාතිකවාදී පල්යිඩ් කුම්රු පක්ෂය. විචාරකයින් කියන්නේ ස්කොට්ලන්තයේත් ජාතිකවාදී පක්ෂයට බලය හිමිවීම යළිත් වරක් ස්කොට්ලන්තයට, වේල්සයට වගේම උතුරු අයර්ලන්තයටත් ස්වාධීනත්වය ලබා ගැනීමේ ඉල්ලීම්වලට නව ජවයක් ලබාදීමක් කියල.

පැහැදිලිවම මේක බ්‍රිතාන්‍ය දේශපාලනයේ දැවැන්ත බල පෙරලියක්.

2010 ඉඳල බ්‍රිතාන්‍යයේ දිගටම බලය හොබවපු කොන්සර්වේටිව් පක්ෂය පරාජය කරලා කියර් ස්ටාමර් ලේබර් පක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් ලබා දීල තවම අවුරුදු දෙකක්වත් ගතවෙලා නැහැ. ඒත් දැන් කියර් ස්ටාමර් ඉල්ලා අස්විය යුතු බවට කණින් කොණින් යෝජනා මතුවෙමින් තියෙනව. බොහෝ දුරට ඉතා ඉක්මනින්ම ඒක පක්ෂය තුළ නායකත්වයට එරෙහි කැරැල්ලක් බවට පත්වෙන්නත් ඉඩ තියෙනව. නමුත් අගමැති ස්ටාමර් කියන්නේ ඉල්ලා අස්වෙන්නේ නැහැ කියල.

නයිජල් ෆරාජ් කියන්නේ දූෂණ චෝදනා පවා එල්ල වී තිබෙන මතභේදයට තුඩු දුන් දේශපාලකයෙක්. ඔහුගේ නායකත්වයෙන් යුත් Reform UK පක්ෂය ප්‍රධාන වශයෙන්ම සංක්‍රමණික විරෝධය සහ ජාතිවාදය පදනම් කරගත් දක්ෂිණාංශික දේශපාලන කඳවුරක්. නයිජල් ෆරාජ්, මේ මොහොතේ ඉරානය සමග ගැටුමක් අවුලුවාගෙන ලොව පුරා වෙසෙන කෝටි ගණනක ජනකායකගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කියන උන්මත්තක නායකයා ගේත් සමීප හිතවතෙක්. එපමණක් නෙවෙයි, ඔහුගේ පක්ෂයට විශාල වශයෙන් මූල්‍යාධාර ලැබෙන්නේ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් ගේ කඳවුරෙන්. මේක අපූරු සන්ධානයක්. හරියට අර ජෝජ් ඩබ් බුෂ් කිවුව වගේ axis of evil සන්ධානයක්.

මේ අශුද්ධ සන්ධානය ගැන ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල එතරම් තොරතුරු නැතත්, බ්‍රිතාන්‍යයේ සිට ප්‍රකාශයට පත්කෙරෙන ස්වාධීන අන්තර්ජාල සඟරාවක් වන Byline Times ඒ ගැන දිගින් දිගටම සවිස්තරව වාර්තා කරනවා. ඒ කියන්නේ ඊළඟ මහ මැතිවරණයෙන් නයිජල් ෆරාජ් අගමැති පදවියට පත්වුනොත් (එහෙම වේවි කියල මම හිතන්නේ නැහැ) ඉතිහාසයේ පළවෙනි වතාවට බ්‍රිතාන්‍යයත් රුසියාවේ යටත් විජිතයක් බවට පත්වෙනවා.

නයිජල් ෆරාජ් කියන චෞර, ජාතිවාදී දේශපාලකයා බ්‍රිතාන්‍යය විනාශ කිරීමේ දේශපාලනය ආරම්භ කළේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමේ කැම්පේන් එකකින්. දැන් ඔහුගේ පළවෙනි අභිප්‍රාය ඉටු වෙලා නිසා දැන් Reform ඡන්ද ව්‍යාපාරය කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ සංක්‍රමණිකයින් රටින් පිටුවහල් කළ යුතු බව පවසමින්. ඒ වගේම බීබීසී ආයතනයට විරුද්ධව. අධිකරණයට එරෙහිවත් ඔහු යුද්ධ ප්‍රකාශ කරනවා. ට්‍රම්ප් ගේ වගේම මානව හිමිකම් කියල දෙයක් ඔහුගේ ශබ්ද කෝෂයේ නැහැ. අවාසනාවන්තම දේ තමයි යුදෙව් සංහාරයට සමහර යුදෙවුවොත් සහය දුන්න වගේ මේ වෙනකොට සංක්‍රමණිකයින් විශාල පිරිසකුත් මේ සංක්‍රමණික විරෝධී ව්‍යාපාරයට එකතුවෙලා ඉඳීම. උදාහරණයක් විදියට ඔහුගේ ඡායා කැබිනෙට්ටුවේ ඉන්න ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන සියා යූසුෆ් දැඩි සංක්‍රමණික විරෝධියෙක්.

නයිජල් ෆරාජ් ගේ විදේශ ප්‍රතිපත්තිය ලියවෙන්නේ ට්‍රම්ප් ගේ නිවාඩු නිකේතනයේ, ඒක proofread කරන්නේ ක්‍රෙම්ලින් එකේ.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මින් පෙර කවදාකවත් මේ වගේ දෙයක් සිද්දවෙලා නැහැ.

කොහොම වුණත් මීළඟ මැතිවරණය පැවැත්වෙන්න තියෙන්නේ 2029 නිසා නයිජල් ෆරාජ් මේ රටේ අගමැති වේවි කියල මම හිතන්නේ නැහැ.

පළාත් පාලන මැතිවරණයෙන් Reform පක්ෂය ජයග්‍රහණය කළත්, ඔහුගේ පක්ෂය දිනාගෙන තියෙන්නේ ඡන්දවලින් 29%ක් විතරයි. ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ වගේ බ්‍රිතාන්‍යයේ තියෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමයක් නොවෙන නිසා 29%කිනුත් දැවැන්ත ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. නමුත් බ්‍රිතාන්‍යය කියන්නේ දේශපාලන සාක්ෂරතාවය අතින් ගත්තම ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා ඉදිරියෙන් ඉන්න රටක්. ඒ නිසා ඊළඟ මැතිවරණය වෙනකොට මේ ජනප්‍රියත්වය මේ විදියටම තියේවි කියල මම හිතන්නේ නැහැ.

ඒ වගේම ලේබර්, ලිබරල් ඩිමොක්‍රට් සහ හරිත පක්ෂ තුනේ එකතුව ගත්තොත් ෆරාජ් ට අගමැති පුටුවට ලංවෙන්න වත් බැහැ. මීට කලින් ප්‍රංශයේ ඒ වගේ තත්වයක් මතුවුනාම – ජාතිවාදී ල පෙන් දිනාගෙන එනකොට – වාමවාදී නැත්නම් සාපේක්ෂව වඩාත් ජනතාවාදී පක්ෂ එක කඳවුරකට ගොනු වුණා.

ළඟදීම බ්‍රිතාන්‍යයේ ත් ඒ වගේ දේශපාලන පෙළගැසීමක් ඇතිවෙන්න බැරි කමක් නැහැ.

– සරෝජ් පතිරණ
2026 මැයි 10

#london #NewsUpdate #Labour #election #democracy #ReformUK #NigelFarage #KeirStarmer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here