spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බාප්පලා බුද්ධි අංශ දුර්වල කරා ! හේමසිරි වැඩ කරේ නෑ! ජනපති සිරිසේන කියයි !

Must read

MY32(3.50 pm ) පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනාධිපති සිරිසේන පවසා ඇත.

ඒ අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන,

“ලංකාවේ මානව හිමිකම් ගැන කථා කරලා අපේ පසුගිය අවුරුදු යුද හමුදාව අඩපණ කරපු, බුද්ධි අංශ දුර්වල කරපු ආණ්ඩුවේ බාප්පලා අද මේ ප්‍රහාරයත් එක්ක හිටගන්නවත් වෙලාවක් නෑ. රහසක් නෙමෙයි ඔබට ආණ්ඩුවත් මගෙත් අතර ප්‍රශ්නය දැන් අවුරුදු දෙකක විතර ඉදන් උග්‍ර වුණා.

ඒ ප්‍රශ්න වලට ප්‍රධාන කාරණයක් තමයි බුද්ධි අංශ දුර්වල කිරිම හා අපේ හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරභාරයට ගැනීම ගැන මම විරෝධය පළ කිරීම හා තදින් කථා කිරීම.

මානව හිමිකම් සංවිධානවල ලොකු මහත්වරු කිව්වේ හැම කෙනාටම නීතිය එකයි කියලා. මම කිව්වේ නීතිය එකයි නමුත් ආරක්ෂක හමුදා යුද නාවික ගුවන් දුර්වල කරන්න බෑ කියලයි. බුද්ධි අංශ දුර්වල කරන්න බෑ කිව්වා.

අපේ සමහර බුද්ධි අංශ නිලධාරීන් රට හැරදාලා ගියා. සමහර අය ලංකාවේ ඉන්න බෑ කියලා පිටරටවල් වල වෙන රස්සාවලට ගියා. මම සමහර රටවල්වල තානාපති කාර්යාලය වලට ඒ අය යැව්වා.”

හේමසිරි වැඩේ හරියට කරලා නෑ – ජනාධිපති සිරිසේන

එසේම පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා සිය වගකීම් ඉටු කර නොමැති බවත්, පොලිස්පතිවරයා අද දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති සිරිසේන මෙහිදී පවසා ඇත.

අදාළ ප්‍රහාර පිළිබඳ පොලිස්පතිවරයා වෙත ලැබුණු ලිපිය නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකුට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇති බව ද සඳහන් කර ඇත.

එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා පමණක් බව ද පවසන ජනපතිවරයා පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම් ඇතුළු අනෙක් නිලධාරීන් වගකීම් පැහැර හැර ඇති බව ද පවසා තිබේ.

ජනාධිපති බබා !

කෙසේ වුවත් ජනාධිපති සිරිසේන මේ කතා කියන්නේ කාටදැයි අපට පැහැදිළි නැත. මේ අපේ රටේ විධායක ජනාධිපතිය. රාජ්‍ය නායකයාය. ආණ්ඩුවේ ප්‍රධානියාය. සේනාධිනායකය. ආරක්ෂක ඇමතිය. නීතිය සාමය පිළිබඳ අමාත්‍යවරයාය. කොටින්ම කියනවා නම් යුද්ධය ප්‍රකාශ කිරීම හා සාමය ප්‍රකාශ කිරීමේ ව්‍යවස්ථාපිත බලය ඇත්තේ ජනාධිපතිටය.

එහෙව් බලයක් ඇති නායකයෙක් මේ කියන්නේ කුමක්ද ? ජාතික ආරක්ෂාව දුර්වලවී ඇත්තේ කොතනද ? ජාත්‍යන්තර ත්‍රස්තවාදී අවධානමක් සම්බන්ධව, එහිදී අදාළ ත්‍රස්ත කටයුතු සඳහා සම්බන්ධ නම්, සංවිධාන, ඔවුන්ගේ කටයුතු ඇතුළුව ඔවුන් යන එන ස්ථාන පවා බුද්ධි අංශ විසින් ලබාදුන් වාර්තාවේ ඇතුළත් වූ බව දැන් අනාවරණය වී හමාරය.

විශේෂයෙන් අප්‍රේල් 4 සහ 10 නිකුත් කල බුද්ධි වාර්තා ඊට සාක්ෂි දරයි. කිසිවක් ගැන ජනාධිපති නොදැනුවත්ද ? අදාළ අමාත්‍යංශ පැවතියේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් යටතේ නම් ජනාධිපති සිරිසේන කියන මේ කතා වලංගු වීමට ඉඩතිබිණ.

එසේම බුද්ධි අංශ වාර්තා ලැබීමත් සමඟ ආරක්ෂක මණ්ඩලය කැඳවා අවම වශයෙන් සැකකටයුතු සම්බන්ධව සෝදිසියෙන් සිටීමට හෝ අවශ්‍ය මුලික උපදෙස් නිකුත් කරාද ? යන්න පවා කිසිවෙක් දන්නේ නැත. එසේම ජාතික ආරක්ෂක කවුන්සිලයට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කැඳවුයේ මොකටද ?

ආණ්ඩු බලය ලබා ගැනීමට මාන බලමින් සිටින විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආරක්ෂක කවුන්සිලය වෙත කැඳවීම සහ රාජ්‍ය රහස් එළියට යාමේ අවධානම ගැනත් පැහැදිළි ප්‍රශ්නයක් ඇත. එසේම අග්‍රාමාත්‍යවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාස ගණනකින් ආරක්ෂක කවුන්සිලයට කැඳවා නැත. ඒ ද ප්‍රශ්නයකි.

සියල්ල පසෙක තබා ජනාධිපති සිරිසේන අත්අඩංගුවට ගෙන ඇති බුද්ධි අංශ සාමාජිකයන් ගැන කියයි. අත්අඩංගුවට ගෙන සිටින්නේ රාජපක්ෂ සමයේ විවිධ අපරාධ සඳහා යොදාගෙන තිබීම හේතුවෙන් චෝදනා ලැබූ බුද්ධි අංශ සාමාජිකයන් කිහිපදෙනෙකු පමණය.

ඒ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම, මාධ්‍යවේදීන් වන කීත් නොයාර්, පොද්දල ජයන්ත සුදුවෑන් වලින් පැහැරගෙන මාරාන්තික තුවාල කිරීම, කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් කප්පම් ලබාගැනීමට තරුණයන් 11ක් පැහැරගැනීම සහ ඔවුන් අතුරුදහන් කිරීම බරපතල සිදුවීම් සඳහා චෝදනා ලැබුවන් වෙයි.

දැන් ප්‍රශ්නය වන්නේ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස සිරිසේන ඉදිරිපත් වන විට මේ සිදුවීම් වලට යුක්තිය ඉටුකරන බව පැවසීම සහ දැන් කියන කතාවේ පරස්පරතාවක් තිබීමම නොවේ. මේ අපරාධ කළේ බුද්ධි අංශ සාමාජිකයන් නම් ඔවුන්ට දඬුවම් නොදෙන බව එදා නොපැවසීමද නොවේ. දැන් ප්‍රශ්නය වන්නේ ජනාධිපති මේ කතා කියන්නේ කාටද යන්න අපට තේරුම්ගත නොහැකිවීමය.

ඒ ජනාධිපති සිරිසේනගේ ප්‍රශ්නයක් නොව ප්‍රශ්නය අපේය. මන්ද ඔහු බබා බව මෙතෙක් අප නොදැන සිටීමය.
www.newstube.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article