රටේ සමස්ත ජනතාවම පීඩාවට පත් කරමින් , වර්තමාන ආණ්ඩුව විසින් අධික ලෙස ඉහල දැමූ, විදුලි මිල , ගෑස් මිල , සහ ඉන්ධන මිල වහාම අඩුකර රටේ සියලු ජනතාවට කඩිනමන් සහන ලබා දෙන ලෙස ඉල්ලා, රජයට දැඩි ලෙස බල කරමින් පැවති උද්ඝෝෂණයක් ඊයේ ( 06/06/2026 ) රාත්‍රීයේ මීගමුව, පෝරුතොටදී පැවැත්විණි.
මීගමුව පොරුතොට, ප්‍රදේශයේ කුඩා වෙරළ උද්‍යානය හෙවත් “මිණි බීච් පාර්ක්” ලෙසින් හඳුන්වන වෙරලාශ්‍රිත ප්‍රදේශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී මෙම උද්ඝෝෂණය පැවති අතර උද්ඝෝෂණකරුවන් පන්දම් රැසක් ගිනිදල්වා ගෙන වර්තමාන ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කරන උදෘතයන් සහිත පූවරු ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වුහ. මෙය සංවිධානය කර තිබුණේ මීගමුව, සමගි ජන බලවේග පක්ෂයේ, මීගමුව, පෝරුතොට කොට්ඨාශ සංවිධායකවරයා වන මීගමුව මහා නගර සභාවේ මොහොමඩ් නුස්රී නාගරික මන්ත්‍රීවරයා විසිනි.
ඒ අනුව මෙම උද්ඝෝෂණය සඳහා මිගමුව, සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා සහභාගි විය. එලෙසම සමගි ජන බලවේග පක්ෂයේ කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා වන ටෙනිසන් ජූඩ් මහතාද මේ අවස්ථාවට සහභාගි විය. තවද මීගමුව මහා නගර සභාවේ සමගි ජන බලවේග පක්ෂයේ නාගරික මන්ත්‍රී කණ්ඩායම් නායිකා, දිලිණි ජයකොඩි නාගරික මන්ත්‍රීවරිය , සහ එම මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ද , මීගමුව පළඟතුරේ, කොට්ඨාශ සංවිධායක මාර්ක් සුජිත් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාධරයන් පිරිසක්ද මෙම ආන්ඩු විරෝධී උද්ඝෝෂණය සඳහා සහභාගි වූහ.
එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මේ ආණ්ඩුව විසින් කිසිදු අනුකම්පාවක් නොමැතිව මේ රටේ සමස්ත ජනතාව දැඩි ලෙස පීඩනයකට ලක් කර ඇති බවයි, එලෙසම ඔහු පැවසුවේ ධීවර රැකියාවේ යෙදෙන සුළු පරිමාණ ධීවරයන්ට භූමිතෙල් ලීටරයක මිල රු.285 දක්වා වැඩිකර ඇති අතර බහු දින ධීවර යාත්‍රා වලට යොදන ඩීසල් ලීටරයක මිල රු 407 දක්වා වැඩි කර ඇති තත්ත්වයක් තුළ මීගමුව ප්‍රදේශයේ ධීවර කර්මාන්තය තුළ නියැලෙන පිරිසට එම කර්මාන්තය තුළ නිසි ලෙස නියැළීමට නොහැකි තත්ත්වයක් මේ ආණ්ඩුව විසින් උදාකර දී ඇති බවයි. එලෙසම පෙට්‍රල් ලීටර්යක මිල ද රු 434 දක්වා වැඩි කර ඇති අතර මෙවැනි තත්ත්වයක් තුළ ත්‍රීරෝද රථ ධාවනය කරන පිරිස් අද වන විට දැඩි දුෂ්කරතාවයකට ලක්ව ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එලෙසම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මීගමුව ප්‍රදේශයේ වෙසෙන ජනතාවට කලින් දැනුම් දීමෙන් සහ කලින් කිසිදු දැනුම් දීමකින් තොරව උන් හිටි ගමන් හිතුමනාපේ සිදු කරනු ලබන විදුලිය කපා දැමිමේ ක්‍රියාවලිය නිසා දරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා බාධා සිදුවෙන බවත් ව්‍යාපාර නිසි ලෙස කරගෙන යෑමටත්, සංචාරක හෝටල් පවත්වාගෙන යෑමටත් මෙම තත්ත්වය තුළ ඉතා අසීරු වී ඇති බවද, ඔහු මෙහිදී අනාවරණය කළේය. තවද ඔහු පවසන්නේ මීගමුව ජනතාවට, එක පැත්තකින් අධික ජීවන වියදමත්, තවත් පැත්තකින් සිදුවන අඛණ්ඩ විදුලිය කප්පාදුවත් නිසා දැඩි අර්බුධයකට සහ අසරණභාවයකට ලක්වන්නට සිදුවී ඇති බවයි. එමෙන්ම අද ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 5000 ක් පමණ වන බවත් මේ තත්ත්වය තුළ රටේ බහුතරයක් ජනතාව කුසගින්නේ පසුවන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ඔහු මෙහිදී දැඩිව ප්‍රකාශ කළේ මේ ආන්ඩුව විසින් මේ රටේ සමස්ත ජනතාවට තුන් වේල කන්න බැරි රටක් නිර්මාණය කර ඇති බවයි. එමෙන්ම ඔහු පවසන්නේ රොකට් එකක් උඩට යන පරිදි ඩොලරය පාවෙමින් උඩ යන අතර එවැනි අයහපත් ආර්ථික තත්ත්වයක් තුළ මෙරට රුපියල එන්න එන්නම බාල්දු වන බවයි. එමෙන්ම මේ ආණ්ඩුව විසින් අද වන විට රටේ ජනතාවට රට හැරයාම එකම විකල්පය බවට පත් කර ඇති බවත්, ඒ සඳහා වර්තමාන ආණ්ඩුව වගකිව යුතු බවත් ඔහු එහිදී පැවසීය. ඒ නිසා ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා මීගමුවේ සෑම කොට්ඨාශයකම මෙවැනි විරෝධතා උද්ඝෝෂණ ඉදිරි කාලයේදී පවත්වා මේ ආණ්ඩුවට රිදෙන්න පාඩමක් උගන්වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. එලෙසම ඔහු අවධාරණය කළේ එදා ජනාධිපතිවරයා වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂයන්ට එරෙහිව මීගමුවේන් ආරම්භ කළ අරගලය නිමා වූයේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමෙන් බවයි.
ඒ අනුව මෙවරද මීගමුවේන් ආරම්භ කරන මේ ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කරන අරගලය, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකයන්ගේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වාම ගමන් ආරම්භ කරමින් මේ ආණ්ඩුවට එරෙහිව දැඩි ජනතා විරෝධය ඉතා දැඩිව ප්‍රකාශ කරන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
වර්තමාන මීගමුව මහා නගර සභාව සහ නගරාධිපතිවරයා පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා මෙහිදී විශේෂ ප්‍රකාශයක් කලේය.
“” මේ ආණ්ඩුව ඇවිල්ලා, මේ නගර සභාව පත්වෙලා ලයිට් එකක් දාගන්න බැරි,ඉතාමත් දුෂ්කර නගර සභාවක් බවට පත්වෙලා, අසරණ නගර සභාවක් බවට පත්වෙලා. අපිට කණගාටුයි ,මේ වගේ නගර සභාවක් මීගමුව ආසනය තුළ පවතින එක පිළිබඳව. අපේ මාර්ක් සුජිත් මන්ත්‍රීතුමගේ කොට්ඨාශයෙන් තමයි, නගරාධිපතිතුමා ඡන්ද ඉල්ලුවේ. එතුමා එහේ් ඉන්නවාද දැන් ?. මහජන දිනයක් එහෙම පවත්වනවා ද නගරාධිපතිතුමා ? ?. මේ මීගමුවේ සංවිධායකවරයා හැටියට පත් කරලා තියෙන්නේ දුවන්න පුළුවන් කෙනෙක්.තව ටික දවසකින් එතුමගේ දක්ෂතා කුසලතා පෙන්නලා, මීගමුව දාලා දුවන්න වෙනවා,මොකද මීගමුවේ ජනතාවට මුහුණ දෙන්න බැරුව, ඒ අයට වෙන්නේ දාලා දුවන එක , කියන එක මම මේ අවස්ථාවේ දී මතක් කර දෙනවා”” …. යනුවෙන් පැවසීය.
මෙම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේදී ,මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කළ, සමගි ජන බලවේග පක්ෂයේ මීගමුව , පොරුතොට කොට්ඨාශයේ සංවිධායක, මොහොමඩ් නුස්රි , නාගරික මන්ත්‍රීවරයාද සමගි ජන බලවේග පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ටෙනිසන් ජූඩ් මහතා සහ සමගි ජන බලවේග පක්ෂයේ මීගමුව පළඟතුරේ කොට්ඨාස සංවිධායක මාර්ක් සුජිත් මහතාද රැස්ව සිටි පිරිස ආමන්ත්‍රනය කලහ.එලෙසම මෙම විරෝධතා උද්ඝෝෂණය සඳහා සමගි ජන බලවේග පක්ෂයේ ක්‍රියාධරයන්ට අමතරව ව්‍යාපාරිකයන් සහ පෝරුතොට ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද සහභාගි වූහ.
සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු









































