අඛණ්ඩ විදුලිය කප්පාදුවට එරෙහිව, තලාහේන – පේරුවේ ව්‍යාපාරිකයෝ ඇතුළු ජනතාව හඬ නගයි…

0
49

 

 

දැනට මාස ගණනාවක සිට තලාහේන පේරුව ප්‍රදේශයේ සිදුවන අඛණ්ඩ විදුලිය කප්පාදුවට එරෙහිව එම ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, හෝටල් හිමියන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්, එලෙසම ස්වයං රැකියා හා ස්වයං ව්‍යාපාරවල නිරතවන්නන් සහ සාමාන්‍ය ජනතාව එක්ව එම දුෂ්කරතාවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වන සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් ඊයේ දින (04/06/2026) සවස, මීගමුව, තලාහේන ” ආරී ලැගූන් ” හෝටලයේදී පවත්වන ලදී.

IMG 20260605 WA0042 IMG 20260605 WA0043 IMG 20260605 WA0044 IMG 20260605 WA0045 IMG 20260605 WA0046 IMG 20260605 WA0047 IMG 20260605 WA0048 IMG 20260605 WA0049 IMG 20260605 WA0050 IMG 20260605 WA0051 IMG 20260605 WA0052 IMG 20260605 WA0053 IMG 20260605 WA0054 IMG 20260605 WA0055

තලාහේන –
පේරුව යනු කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුංගල්පිටිය, තලාහේන, බසියාවත්ත, අලුත්කූරුව, පිටිපන සහ දූව යන ගම්මාන වලින් සැදුම්ලත් සුවිශල් ප්‍රදේශයකි.එම ප්‍රදේශයේ වෙසෙන දහස් ගණනින් යුත් ජනතාවට මේ හේතුව නිසා දැඩි පීඩාවකටත්, දුෂ්කරතාවයකටත්, එමෙන්ම දැඩි අපහසුතාවයකටත් පත්වී ඇති බව වාර්තාවුණි.

මෙම දැනුවත් කිරීමේ සාකච්ඡාව සහ මාධ්‍ය හමුව, සංවිධානය කර තිබුණේ මීගමුව මහා නගර සභාවේ, දිළිනි ජයකොඩි විපක්ෂ නාගරික මන්ත්‍රීවරිය විසිනි. මෙම දැනුවත් කිරීමේ සාකච්ඡාව සහ මාධ්‍ය හමුව සඳහා ගම්පහ දිස්ත්‍රික් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාටද විශේෂයෙන් ආරාධනා කර තිබිණි.
මෙම සාකච්ඡාව ආරම්භයේදීම ප්‍රකාශ වුයේ, තලාහේන – පේරුව ප්‍රදේශයේ සෑම ව්‍යාපාරකයටම සහ සෑම ජන ජීවිතයකටම ඉතාම සෘජු ලෙස බලපාන්නා වූ මෙම ගැටළුව සම්බන්ධව වතා කිහිපයකදීම ලිඛිතව හා වාචිකව අදාළ බලධාරීන්ට දැනුවත් කිරීම් සිදු කළද මෙම ගැටළුව සඳහා මෙතෙක් ස්ථීරසාර , නිසි විසඳුමක් නොලැබුණු බවයි. අවසානයේ මෙය ප්‍රදේශයේ වගකිවයුතු මහජන නියෝජිතයෙකුගේ හෝ මැදිහත්වීමක් අවශ්‍ය වූ බවත්, ඒ නිසා ප්‍රදේශයේ මහජන නියෝජිතයෙක් ලෙස ඒ පිළිබඳව නිසි ලෙස දැනුවත් කිරීමට අවශ්‍ය වූ බැවින්, කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙම සාකච්ඡාව සඳහා ආරාධනය කළ බවත් මෙම සාකච්ඡාව ආරම්භයේදීම ප්‍රකාශ වුණි.

ඉන් පසුව සාකච්ඡාව සඳහා සහභාගී වූ කිහිපදෙනකුම දැනට කාලයක සිට තම ප්‍රදේශයේ සිදුවන අඛණ්ඩ විදුලි කප්පාදුව පිළිබඳව සිය අදහස් සහ තමන් මෙම තත්ත්වය තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳව විස්තර ඉදිරිපත් කළහ.
මෙහිදී මුලින්ම අදහස් පළ කළ මාළු සහ ඉස්සෝ ව්‍යාපාරිකයෙකු වන ,හිටපු නාගරික මන්ත්‍රී රංජිත් මහතාය. ඔහු ප්‍රකාශ කලේ සෑම දිනකම පාහේ උදේ, දහවල්, සවස සහ රාත්‍රී ඕනෑම වේලාවක කලින් කිසිදු දැනුම් දීමකින් තොරව විදුලිය කැපීම සිදු කරන නිසා තම ව්‍යාපාර නිසි ලෙස කරගෙන යාමට සහ පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.

එලෙසම ඔහු ප්‍රකාශ කළේ දුංගල්පිටිය දේවස්ථානයට අනුයුක්තව සංවිධානය වී ඇති ජ්‍යෙෂ්ඨ තරුණ සමිතිය (යූත්) මගින් පසුගිය කාලයේ ඒ පිළිබඳව කළ ලිඛිත දැනුම් දීමකින් පසුව මාසයක පමණ කාලයක් අඛන්ඩ විදුලි සැපයුමක් දිනපතා ලබා දුන් බවයි. එහෙත් මේ මෑතක සිට නැවත වරක් කිසිදු දැනුම් දීමකින් තොරව දිනකට කිහිප වතාවක්ම විදුලිය කැපීම සිදු කරන බව ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසීය. තමන්ගේ මාළු සහ ඉස්සන් ගබඩා කර ඇති අධි ශීතකරණ වල ක්‍රියාකාරීත්වයට මේ තත්ත්වය තුළ බාධා පැමිණවෙන බැවින් බොහෝ විට එම අධි ශීතකරන අක්‍රිය වන බවත් ඒවා අලුත් වැඩියා කිරීම සඳහා අමතර කොටස් වලට සහ සේවා ගාස්තු සඳහා විශාල වියදමක් දරන්නට සිදුවෙන බවද පැවසූ ඔහු දැඩි ලෙස අවධාරණය කළේ මෙවැනි තත්ත්වයන් නිසා අධි ශීතකරණ නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් තම මාළු සහ ඉස්සන් තොග නිසි ලෙස ගබඩා කර ගත නොහැකි තත්ත්වයකට පත් වන බවයි.

එය තම ව්‍යාපාර වලට විශාල පාඩුවක් වන බවද ඔහු තවත් දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය.

ඉන් අනතුරුව අදහස් ප්‍රකාශ කළේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන නීතිඥ නිශාන්ත ප්‍රනාන්දු මහතායි. ඔහු ප්‍රකාශ කළේ තමන් , තම නිවසේ රැඳෙන්නේ සුළු කාලයක් පමණක් බවත්, එම සුළු කාලයට පවා වතා කිහිපයක්ම විදුලිය කැපීම සිදුවන බවයි. ඔහු පවසන්නේ මෙය විදුලි බල මණ්ඩලය විසින් විදුලිය ඉතිරි කර ගැනීම සඳහා හෝ හිතා මතාම සිදුකරන ක්‍රියාවක් දැයි සැක සහිත බවයි.

එලෙසම ඔහු ප්‍රකාශ කරන්නේ යම් යම් අයහපත් කාර්යයන් සිදු කරන විට විදුලි කප්පාදුවක් තුළ විශේෂයෙන්ම සී.සී.ටී.වී. කැමරා පද්ධති පවා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ යම් රහස් පරමාර්ථයක් නිසා මෙලෙස දිනකට වතා කීහිපයක්ම විදුලිය කැපීම සිදු කරනවා දැයි සැකයක් උපදින බවයි.
ඉන් පසුව අදහස් දැක්වූයේ තලාහේන “කරිටාස්” කන්‍යාරාමයේ ගරු ඉරේෂා කන්‍යා සොහොයුරියයි . එතුමිය ප්‍රකාශ කළේ තම කන්‍යාරාමයෙන් මෙහෙයවන ළදරු පාසලේ දරුවන් සමග කුඩා ඉඩ ප්‍රමාණයක එම ළදරු පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී විදුලිය කැපීම නිසා එම කටයුතු හරිහැටි සිදු කර ගත නොහැකව කුඩා දරුවන් සමග විශාල අපහසුතාවයකට පත්වන බවයි. එය විශාල දුෂ්කරතාවයක් බවද එතුමිය එහිදී ප්‍රකාශ කළ අතර අද දින උදේ වරුවේත් කිසිදු දැනුම් දීමකින් තොරව විදුලිය කැපීම සිදුවූ බවත් , දෛනිකව සිදුවන මේ ක්‍රියාවලිය සඳහා මැදිහත්ව මෙම තත්ත්වයට ස්ථීර සහ නිසි විසඳුමක් ලබා දෙන ලෙස මේ සඳහා වගකිවයුතු අය හට දැනුවත් කරන ලෙසද එතුමිය මෙහිදී ඉල්ලා සිටියාය.

මෙහිදී අදහස් පල කළ දුංගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වු ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මේ පිළිබඳව මීට ටික කාලෙකට පෙර තමා ඇතුළුව ගම්වාසින් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්වී අත්සන් යෙදු පෙත්සමක් බිදුලි බල මණ්ඩලයට ලබා දුන් බවයි.

ඒ අනුව විදුලි බල මණ්ඩලයෙන් පැමිණි පිරිසක් ඒ පිළිබඳව සොයා බැලූ බවත් එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ වාරකන් කාලයට හමන සුළඟ සමග දැඩි ලූණු සහිත ජල වාෂ්ප හමන බවත් , විදුලි රැහැන් ,ඇන මුරිච්චි ඇතුළු සියලු ලෝහමය ස්ථානවල එම ලුණුකර තැන්පත් වන බවත් එම නිසා විදුලි සැපයුම බිඳවැටෙන බවත් එවැනි අවස්ථාවල එවා නැවත සවිකල යුතු බව ඔවුන් පැවසූ බවද, ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මේ නිසා මෙවැනි අයහපත් තත්ත්වයක් ව්‍යාපාරිකයන්ට සේම සාමාන්‍ය ජන ජීවිතයට පවා දැඩි බලපෑමක් සිදු කරන බව පැවසූ ඔහු සඳහන් කළේ මෙම සාකච්ඡාවට විදුලි බල මණ්ඩලය නියෝජනය කරන වගකීව යුතු බලධාරීන්වද සම්බන්ධ කළ යුතුව තිබූ බවයි. එසේ වූවා නම් ඔවුන්ට ද මේ පිළිබඳව නිසි ලෙස දැනුවත් කිරීමටත්, ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි දැනුවත් වීමටද හැකියාව තිබූ බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

එලෙසම මෙම දැනුවත් කිරීමේ සාකච්ඡාව සහ මාධ්‍ය හමුව පැවැත් වූ තලාහේන ආරී ලැගූන් හෝටලයේ සාමාන්‍යාධිකාරී
ශෂික වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙලෙස කලින් කිසිදු දැනුම් දීමකින් තොරව දිනකට වතා කිහිපයක් විදුලිය කැපීම නිසා අමතරව විශාල මුදලක් පසුගිය මාස කිහිපය තුළ ජෙනරේටර් යන්ත්‍ර ක්‍රියා කිරීම සඳහා ඉන්ධන වෙනුවෙන් වැය කරන්නට සිදු වූ බවයි. දිනකට වතා කිහිපයක් අඛණ්ඩව මෙලෙස විදුලි කැපීම් සිදුවන නිසා හෝටලයේ රැඳී සිටින විදේශ සංචාරකයන් දැඩි අපහසුතාවයකට හා ඔවුන්ගේ නිදහසට දැඩි ලෙස බාධා සිදුවන බවත් එවැනි තත්ත්වයක් තුළ සංචාරක හෝටල් වැනි ව්‍යාපාර පවත්වාගෙන යෑම මේ වන විට දුෂ්කර කාර්යයක් පත්ව ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. එමෙන්ම කි්‍යු.ආර්. (Q.R.) ක්‍රමය යටතේ ජෙනරේටර් යන්ත්‍ර සඳහා ඉන්ධන සපයා ගැනීමේදී තමන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
පිටිපන ප්‍රදේශයේ සැලොන් ව්‍යාපාරිකයෙකු වු අජිත් ජයකොඩි මහතා සඳහන් කරන්නේ විදුලි බිල නොගෙවන්නේ නම් නියමිත දිනයට සහ නිසි වෙලාවට විදුලි බල මණ්ඩලයෙන්, පැමිණ විදුලිය විසන්ධි කරන බවත්, නැවත ලබා ගැනීමේදීද අමතර මුදලක්ද ගෙවිය යුතු බවයි.එලෙසම විදුලි බිල ගෙවීමට ප්‍රමාද වුවහොත් එම ප්‍රමාදය සඳහා අමතර පොලී මුදලක්ද අය කරන බවත් ඒ අනුව විදුලි බල මණ්ඩලය ඔවුන්ගේ රාජකාරිය එලෙසින් නියම විදිහට ක්‍රියාත්මක කළත්, විදුලි සැපයීමේ කාර්‍යයේදී නිසි ලෙස විදුලිය සැපයීම සිදු කිරීමටට ඔවුනට නොහැකි වී ඇති බවද ඔහු සඳහන් කළේය. ඊයේ දිනයේදී 04 වතාවක් විදුලිය කැපූ බවත්, අද උදෑසන ද පැය 2 , 1/2 ක් විදුලිය කැපූ බවත් පැවසු ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ විදුලි බල මණ්ඩලයේ කටයුතු පිළිබඳව තමන් ඇතුළු මේ ප්‍රදේශයේ බහුතර ජනතාව ඉතා කනස්සල්ලෙන් හා අතෘප්තිමත්ව පසුවන බවයි. එලෙසම ඔහු පෙන්වා දෙන්නේ දිනකට කිහිප වතාවක් විදුලිය කැපීමෙන් පසු නැවත විදුලිය ලබාදීමේදී සමාන්‍ය ප්‍රමාණයටට වඩා අධි බලැති ලෙස විදුලිය ලැබෙන බවත්, ඉන් විදුලි උපකරණ අක්‍රිය තත්ත්වයට පත්වන බවත්, විශේෂයෙන්ම සැලොන් ව්‍යාපාරවල යෙදෙන එම ඉලෙක්ට්‍රොනික මෙවලම් නිතරම අක්‍රිය වී නැවත නැවත අලුත් වැඩියා කර ගත නොහැකි තත්ත්වයට පත්වන බවත්, එය තම ව්‍යාපාරවලට විශාල පාඩුවක් බවත්, මෙවැනි තත්ත්වයක් තුළ තම ව්‍යාපාර අඛන්ඩව නිසි ලෙස පවත්වාගෙන යෑමට අසීරු තත්ත්වයක් උදාවී ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඔහු අවසාන වශයෙන් පැවසුවේ විදුලිය කැපීම පිළිබඳව ප්‍රශ්න කිරීමට මීගමුව විදුලි බල මණ්ඩල කාර්යාලයට දුරකථන ඇමතුම් කොතෙකුත් ලබා දුන්නත් එම කාර්යාලීය දුරකථනයේ රිසීවරය එම මණ්ඩලයේ නිලධාරින් විසින් පසකින් තබා ඇති බවයි.

කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන දුංගල්පිටිය ප්‍රදේශයේ
ඉග්නේෂස් මහතා මෙහිදී සඳහන් කළේ විදුලිය කැපීමෙන් තම ව්‍යාපාර වලට විශාල පාඩුවක් සිදු වන බවයි. තමන් එම ප්‍රදේශයේ සේවක සේවිකාවන් 25 දෙනෙකුට පමණ රැකියා අවස්ථා උදාකර දී ඇති බවත්, විදුලිය කැපීමෙන් අනතුරුව ඇඳුම් ඇසීමේ කටයුතු සිදුකළ නොහැකි බවත්, එහෙත් එම සේවක සේවිකාවන්ට තමන් වැටුප් ලබා දිය යුතු බවත් නිෂ්පාදනයක් සිදු නොවී, එලෙස සේවක සේවිකාවන්ට වැටුප් ලබාදී තම ව්‍යාපාරය පවත්වාගෙන යෑමට සිදුවීම විශාල පාඩුවක් බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ඇඳුම් ඇසීම සඳහා මේ කාලයේ යොදාගන්නාා යන්ත්‍ර සියල්ලක්ම පාහේ ඉලෙක්ට්‍රොනික් මහණ මැෂින් බවයි. මෙලෙස විදුලිය නිතර නිතර ඇනහිටීමෙන් එම ඉලෙක්ට්‍රොනික් මැෂින්වල ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් ඉතා ඉක්මනින්ම අක්‍රියවන බවත් ඒවා නැවත නැවත මිලදී ගැනීම සඳහා විශාල මුදලක් එනම් රුපියල් 25,000 සිට රුපියල් 40,000 දක්වා විශාල මුදලක් වැයවෙන බවත් ඔහු සඳහන් කරයි. එනිසා තමන් වැනි කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිප දෙනෙකුම මේ ප්‍රදේශයේ සිටින බවත් , තමන් ඇතුළු එම ව්‍යාපාරිකයන් හට මෙවැනි තත්ත්වයක් තුළ ව්‍යාපාර පවත්වාගත නොහැකිව ඉතා දැඩි ලෙස දුෂ්කරතාවයකට පත්වන බවද ඔහු මෙහිදී ඉතා දැඩිව අවධාරණය කළේය .
තවද හිටපු නාගරික මන්ත්‍රී නියුමන් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කළේ වර්තමාන රජය විසින් අධික ලෙස විදුලි බිල වැඩි කර තිබියදී , අඩු මුදලක් සහිත විදුලි බිලක් , ජනතාවට ලබාදී ජනතාව උපාය මාර්ගිකව රැවටීමකට ලක් කිරීම සඳහා මෙලෙස නොදන්වා අඛණ්ඩව ජනතාවට පීඩාවක් ගෙන දුන්නත්, ඉතා සූක්ෂමව දිනකට හතර පස් වතාවක් විදුලිය කැපීම, සිදු කරන බවට සැකයක් උපදින බවයි.

මෙහිදී මෙම සාකච්ඡාව සහ මාධ්‍ය හමුව සංවිධානය කළ මීගමුව මහා නගර සභාවේ දිලිණි ජයකොඩි විපක්ෂ නාගරික මන්ත්‍රීවරිය සඳහන් කළේ මෙය එක ගමකට සීමා වූ ප්‍රශ්නයක් නොවන බවත්, මෙය මුළු තලාහේන පේරුවටම එනම් ගම් කිහිපයකම වෙසෙන කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් සේම සාමාන්‍ය පොදු ජනතාවටත් බලපාන්නාවූ විශාල ගැටළුවක් වන බවයි. එනිසා මෙයට පක්ෂ භේදයකින් තොරව විසඳුමක් සොයා ගත යුතු බවත් , ඒ සඳහා සියලු දෙනාම එකමුතුව මේ කාර්යය සඳහා කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා මීගමුව නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ විශේෂ මැදිහත්වීම මේ සඳහා ලබා දෙන ලෙසද ඇය එහිදී ඉල්ලීමක් කළාය.

මෙහිදී කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙම ප්‍රශ්නය ඉතා සංකීර්ණ බැරෑරුම් ප්‍රශ්නයක් බවයි. මෙය ව්‍යාපාරිකයන් සඳහා පමණක් බලපාන ප්‍රශ්නයක් නොවන බවත්, මුළු තලාහේන පේරුව ප්‍රදේශයේම ඇති 15000 කට අධික නිවාස වල දහස් ගණනින් වෙසෙන ජනතාවටත්, මේ ප්‍රදේශයේ විවිධ ව්‍යාපාරික කටයුතු වල යෙදෙන ජනතාවගේ පොදු ගැටලුවක් බවත් ඒ සඳහා ජනතා නියෝජිතයෙක්, ලෙසත් මේ ප්‍රදේශයේ වෙසෙන පුරවැසියෙකු ලෙසත් තමන් මේ සඳහා සෘජුව මැදිහත් වීමට සූදානම් බවද ඔහු මෙහිදී පැවසීය. එලෙසම මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළදී විදුලිය හා බලශක්ති අමාත්‍යවරයාගෙන් අතුරු ප්‍රශ්නයක් ලෙස ප්‍රශ්න කිරීමටත්, විදුලි බල මණ්ඩලයේ, අදාළ බලධාරීන් ඇතුළු විදුලි ඉංජිනේරුවරයා හෝ හමුවීමට තමන්ද මෙම ජනතාව සමග එක්වන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ලෙසම ඔහු අවධාරණය
කර සිටියේ, මේ ප්‍රදේශයේ සිටින ව්‍යාපාරිකයින්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ සියලු ජනතාව ඒකරාශිව මේ ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි. තමන් ද ඒ සඳහා ඕනෑම අවස්ථාවක ජනතාව සමග එම කටයුතුවලට දායක වන බවද ඔහු එහිදී රැස්ව සිටි පිරිස අමතා ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව සඳහා තවත් කිහිපදෙනෙකුම තම පෞද්ගලික අදහස් පල කල අතර, මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ , තලාහේන ප්‍රදේශයේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරකයකු වන නෙල්සන් හෙට්ටිආරච්චි මහතා විසිනි.

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here