ගීතයක් නිසා දෙමළ කලාකරුවෙකුට PTA ගැසු පොලිසියට උසාවි⁣යේදි ප්‍රශ්ණ..

0
12

විප්ලවීය වදන් ඇතුළත් ගීතයක් හඬකවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ තරුණ දෙමළ කලාකරුවකුට දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමට උත්සාහ කරන බවට පොලීසිය එල්ල කරන චෝදනාව එම කලාකරුවා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා අභියෝගයට ලක් කර තිබේ.

නාවට්කුලි ප්‍රදේශයේ හින්දු කෝවිලක පැවති තේරු උත්සවයක සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංගයක ගායනා කළ ගීතයක් වීඩියෝගත කර ඊට විප්ලවීය වදන් එකතු කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමට උත්සහ කරන බවට චෝදනා නගා කිලිනොච්චි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ගනේෂ් කුමාර් සංගීතන් ජුනි 17 වැනිදා දක්වා සිරගත කිරීමට චාවකච්චේරි මහේස්ත්‍රාත් එම්.අයි.එෆ් රිස්මිනා ජුනි 3 වැනිදා නියෝග කළාය.

පරිස්සමින් පරිහරණය කරන බවට ආණ්ඩුව විසින් සහතික කරන ලද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යොදාගනිමින් චාවකච්චේරි පොලීසිය විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විප්ලවීය ගීතයේ දෙමළ ඊළම යන වචනය තිබූ බවට චෝදනා කරමිනි.

කිලිනොච්චි බටහිර උදයනගර්හි පදිංචි ගනේෂ් කුමාර් සංගීතන් දෙමළ තරුණ සංගීතඥයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ කේසවන් සයන්දන් ප්‍රශ්න කරන්නේ ගනේෂ් කුමාර් සංගීතන් ගායනා කළ ගීතයේ විමුක්ති කොටි සංවිධානයේ නාමය හෝ සදහන්ව නොමැති විටකදී ඔහුට විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමේ චෝදනා එල්ල කරන්නේ කුමන පදනමකින්ද යන්නයි.

“දෙමළ ඊළම් විමුක්ති සන්ධානය (TELO) යන නමින් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළ දේශපාලන පක්ෂයක් තිබුණා. දැනුත් තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් – TMVP (දෙමළ ජනතා විමුක්ති කොටි සන්ධානය) කියන නමින් පක්ෂයක් තිබෙනවා. ඒත් මේ තරුණයා ගායනා කළ ගීතයේ විමුක්ති කොටි සංවිධානයේ නමවත් තිබුණේ නැහැ. ඉතිං කොහොමද විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමක් වෙන්නේ කියලා මම ප්‍රශ්න කළා. කෙසේ වුණත්, ලබන 17 වෙනිදා දක්වා අදාළ තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කළා.”

නීතිඥ කේසවන් සයන්දන් තව දුරටත් සදහන් කරන්නේ ගනේෂ් කුමාර් සංකීතන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ගීතයේ විමුක්ති කොටි සංවිධානයට ප්‍රශස්ති ගැයීමක් හෝ විමුක්ති කොටි සංවිධානය යන වචනයක්වත් නොමැති කොටි සංවිධානයට අයත් ලාංඡන භාවිත කිරීමක් හෝ කොටි සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගේ නාමය, තහනම් කළ සංවිධානවල නාමයන් සඳහන් නොකළ විප්ලවීය කවියක් වූ බවටත් තමන් අධිකරනයට කරුණු ඉදිරිපත් කළ බවයි.

theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here