මීගමුව අධිකරණ පරිශ්‍රයේදී හිමිනමකගෙන් මාධ්‍යවේදීන්ට බාධා සහ හිරිහැර . ..

0
13

..

තායිලන්තයේ සිදු කළ සංචාරයක් නිමකර කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 112 ද සමග මෙරටට පැමිණි භික්ෂූන් 22 නෙකු සහ ඔවුන් මෙරටදී භාර ගැනීමට පැමිණ පසුව සැඟව සිටියදී අත්අඩංගුවට ගත් තවත් එක් භික්ෂුවක් ඇතුළු 23 නෙකුගෙන් සමන්විත භික්‍ෂූන් පිරිසක් ,ඔවුන්ගේ රැඳවුම් නියෝග අවසන් වූ බැවින් ඊයේ දින ( 02/05/2026) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට එම පිරිස ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව මෙම නඩුව විභාග වූ ඊයේ දින අත්අඩංගුවට පත් එම භික්ෂු පිරිසගේ සහායට මීගමුව ,අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි
” ලකේ ගල ” හාමුදුරුවෝ ලෙස තමන් විසින්ම හඳුන්වාගත් භික්ෂුවක් මීගමුව අධිකරණ පරිශ්‍රයේ රැඳී සිටි මාධ්‍යවේදීන්ට හිරිහැර වන ආකාරයටත්,බාධා සිදුවන ආකාරයටත් හැසිරුණු ආකාරය දැකගත හැකි විය.

ලකේ ගල හාමුදුරුවෝ ලෙස හැඳින්වූ එම භික්‍ෂුව විසින් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාටද සිය ජංගම දුරකථනයෙන් අමතා එම ස්ථානයට ඔහු ගෙන්වාගෙන එහි රැඳී සිටි මාධ්‍යවේදීන් , අධිකරණ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට දැඩි උත්සාහයක යෙදුණු බව දැක්නට ලැබිණි.

ඒ අවස්ථාවේදී එම මාධ්‍යවේදීන්, මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකයාට සිදු කළ කරුණු පැහැදිලි කිරීමෙන් පසු ,ඔහු විසින් එම සත්‍ය තත්වය පිළිගනු ලැබීය.
එලෙස අවස්ථා කිහිපයකදීම ලකේ ගල හාමුදුරුවෝ නැමැති මෙම භික්ෂුව විසින් සිය ජංගම දුරකථනයෙන් ඉහළ පොලිස් නිලධාරින් අමතමින් අත්අඩංගුවට පත් භික්ෂූන් 23 දෙනා බන්ධනාගාර බස් රථයට නංවාගෙන යන දර්ශන වීඩියෝ ගත කිරීම වළක්වාලීම සඳහා දැඩි උත්සාහයක් ගනු ලැබීය. එම අවස්ථාවේ රාත්‍රී 7.00 ට ආසන්නව තිබූ බැවින් අධිකරණ පරිශ්‍රය දැඩි අඳුරකින් වෙලී තිබූ අතර අධිකරණයට ඇතුළු වන තරප්පු පෙල අසල විශාල ප්‍රමාණයේ ප්ලෑෂ් ලයිට් එකක් (අධි බලැති විදුලි බල්බයක්) පමණක් දැල්බී තිබීණි. ඒ අවස්ථාවේ ලකේ ගල හාමුදුරුවෝ යැයි කියාගන්නා මෙම භික්ෂුවගේ කීමට එම ස්ථානයට පැමිණි වෙනත් භික්ෂුවක් විසින් ,එම භික්‍ෂුව හැද සිටි සිවුර ගලවා එම ප්‍ලෑෂ් ලයිට් එක වසා දමා මුළු අධිකරණ පරිශ්‍රම අඳුරේ තැබීය.

එලෙස එම භික්‍ෂුව සිදුකළේ සැකකාර භික්ෂූන් 23 දෙනා බන්ධනාගාර බසයට නංවාගෙන යන ආකාරය මාධ්‍යවේදීන්හට හට වීඩියෝ ගත කිරීමට නොහැකි වන ලෙසයි. ඒත් මාධ්‍යවේදීන් තම ජංගම දුරකථන වල ඇති ටෝච් ලයිට් දල්වා අදාළ අවස්ථාව වීඩියෝ ගත කළහ.

එලෙසම බන්ධනාගාර බසයෙන් එම සැකකාර භික්‍ෂූන් පිරිස රැගෙන යනතෙක්ම එම මාධ්‍යවේදීන්ව අධිකරණ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ලකේ ගල නමැති මෙම භික්ෂුව . උත්සහ කළ අතර, තවද එම භික්‍ෂුව විසින් මාධ්‍යවේදීන්ට අසභ්‍ය ලෙස බැන වදින ආකාරයද දැක ගත හැකි විය.

අහිංසක හාමුදුරුවෝ පිරිසක් නිරපරාදේ මෙම සිද්ධියට හසුකර ඇති බවත් ඔවුන්ගේ සිවුරු ගලවා දැමීමට රජය කුමන්ත්‍රණය කරන බවත් ලකේ ගල හාමුදුරුවෝ නැමැති මෙම භික්‍ෂුව විසින් එහිදී පැවසීය.

මීට පෙර අවස්ථාවේ එනම් මෙම භික්ෂූන් 23 දෙනා පසුගිය මස 26 වෙනිදා (26/04/2026) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සහ ඊයේ දින දහවලේ පටන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පැවති නඩුු විභාගය ආරම්භ වීමට පෙරාතුවම මෙය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් විසින් සියල්ල වීඩියෝ ගත කලහ. නමුත් මෙම නඩුව අවසන් වී මහේස්ත්‍රාත්වරිය පවා අධිකරණයෙන් පිටව ගිය පසු ලකේ ගල හාමුදුරුවෝ නැමැති මෙම භික්ෂුව මෙලෙස හැසිරීමට පටන් ගත්තේය.

එලෙසම මෙම සැකකාර භික්‍ෂූන් 23 දෙනා පස්වරුවේ අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී ඔවුන් තායිලන්තයට රැගෙන ගිය පුද්ගලික භාණ්ඩ සහ ගමන්මලු සිය ඥාතීන්ට භාරදීම සිදු කළහ. ඒ අවස්ථාවේදී ද මෙම ලකේ ගල හාමුදුරුවෝ නැමැති භික්ෂුව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන්ට බැන බැදුණේ සහනාධාර බෙදන ආකාරයට මාධ්‍යවේදීන් ඉදිරිපිට මෙම ගමන් මලු එම ඥාතීන්ට ලබා දීම වැරදි සහගත බව පවසමිනි. ඒ සඳහා පිළිතුරු ලබා දුන් එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා සඳහන් කළේ එයද මෙම රාජකාරියේම කොටසක් බවයි.
එලෙසම අධිකරණ මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ලකේ ගල හාමුදුරුවන් නමැති භික්‍ෂුවගේ ක්‍රියා කලාපය පිළිබඳව අධිකරණ රෙජිස්ටර්වරයාට පැමිණිල්ලක් භාර දීමට කටයුතු කරන බවද එහි සිටි මාධ්‍යවේදීන් ප්‍රකාශ කළහ.

ලකේ ගල හාමුදුරුවන් නැමැති මේ භික්ෂුව පවසන ආකාරයට අත්අඩංගුවට පත් මෙම භික්ෂූන් 23 දෙනා මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණීම වරදක් නොමැත.

රටම ජාත්‍යන්තරය ඉදිරියේ ලැජ්ජා කිරීම වරදක් නොමැත. වරද වන්නේ ඔවුන් බන්ධනාගාර බසයට නංවාගෙන යෑම වීඩියෝ ගත කිරීම පමණය

මේ සම්බන්ධයෙන් අදාළ අංශයන් අවධානය යොමු කරන තුරු මාධ්‍යවේදීන් මේ පිළිබඳ වාර්තා කරමින් අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here