මෙරට තුළ පැවැත්වූ සාම පා ගමන නිමා කරමින් ලෝ ප්‍රකට ආලෝකා නැමැති සුනඛයාද මෙරටින් පිටව ගොස් ඇත. ආලෝකා නිසා මෙරට වීදි සරණ සුනඛයන් වෙත මෙරට බහුතර ජනතාවගේ දැඩි අවධානයක් සහ අනුකම්පාවක් ඇති වී ඇති කාලවකවානුවක, මීගමුව ඒත්තුකාල, ප්‍රදේශයේ පාසල් පටුමගේ වෙසෙන
” කලූ ” නමින් හඳුන්වන සුරතල් සුනඛයෙකු පිළිබඳව මේ දිනවල අප වෙබ් අඩවියෙන් (www.meepura.com) හා අප ෆේස්බුක් පිටුව ඔස්සේ අඛණ්ඩව විස්තර ඉදිරිපත් කළෙමු.
අවුරුදු 08 කට වැඩි කාලයක් සිය වාස භූමිය කරගත් ඒත්තුකාල පාසැල් පටුමගෙන් කලූව නෙරපා දැමීමට යම් පුද්ගලයකු මීගමුව පොලිස් ස්ථානයට පැමිණිලි යොමු කරමින්, විවිධ ආකාරයෙන් උත්සාහ ගන්නා ආකාරය පිළිබඳව මෙි දිනවල අප පාඨකයන් වෙත නිරන්තරයෙන් දැනුවත් කලෙමු. ඒ නිසාවෙන්ම මෙරට පමණක් නොව ලොව පුරා වෙසෙන සත්ව ලැදී සහ විදී සරණ සුනඛයන් වෙත ආදරය, කරුණාව, හා අනුකම්පාව දක්වන මිලියන ගණනක් වන ජනතාව ” කලූ ” සමඟ එකතු වී ඇති ආකාරය ගැනත් ඔවුන් විසින් , අප පළ කළ එම පුවත් සඳහා දැක්වූ ප්‍රතිචාරයන් ( comments ) පිළිබඳවත් නිරන්තරයෙන් අප පාඨකයන් වෙත දැනුවත් කලෙමු.
කෙසේ වුවද උසස් පොලිස් නිලධාරීන් සහ සත්ව අයිතිවාසිකම් හා සත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානත් එලෙසම එම ක්‍රියාකාරී පුද්ගලයන්ද පුන පුනා ප්‍රකාශ කළේ , අධිකරණ ක්‍රියාදාමයකින් පසුව ලැබෙන අධිකරණ තීන්දුවකින් තොරව කිසිදු රජයේ ආයතනයකට හෝ රාජ්‍ය නිලධාරියෙකුට හෝ වීදි සරණ සුනඛයෙක්ව එම සුනඛයා වසර ගණනාවක් තිස්සේ වෙසෙන සහ එම සුනඛයාට හුරුපුරුදු වාස භූමියකින් ඉවත් කිරීමට හෝ නෙරපා දැමීම හෝ සිදු කල නොහැකි බවයි.
එහෙත් කලූගේ ජීවිතය තවමත් අවධානමක. …
මෙරට සත්ව අයිතිවාසිකම් හා හිමිකම් පිළිබඳව නීතිමය තත්ත්වයන් එසේ වුවද , කලූ ව එම පාසල් පටුමගෙන් ඉවත් කිරීමට හෝ නෙරපා දැමීමට උත්සුක ව සිටින පුද්ගලයකුට එම කාර්යයට සහාය දීම සඳහා මීගමුව මහා නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ ( මාලිමාවේ ) නාගරික මන්ත්‍රීවරයෙක්ද මේ වන විට විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින බවට එම ප්‍රදේශවාසීහු පිරිසක් චෝදනා කරති.
“කලු” ගේ වාස භූමිය අහිමි කිරීමට කැස කවන මීගමුවේ, මේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරයා කවුද ?.
ප්‍රදේශවාසීන් සඳහන් කරන ආකාරයට, ඔහු මෙතෙක් කලක් ක්‍රියාකාරී දේශපාලන නියැලුණු පුද්ගලයෙකු ද නොවේ. ඒත්තුකාල ප්‍රදේශය මුල් කරගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ, සේවයේ නියුතු මොහු මෙවර නගර සභා මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් ( මාලිමාවට ) ප්‍රථම වතාවට නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී තිබේ.
ඒත්තුකාල ප්‍රදේශය හා ඊට යාව පිහිටි අනෙකුත් ප්‍රදේශද ,මීගමුව සංචාරක කලාපයට අයත් නිසා, මීගමුව සංචාරක කලාපය තුළ මෙතෙක් නොවිසඳුණු සිය ගණනක් වන ප්‍රශ්න හා ගැටලු විසඳීමට තිබියදී එවැනි දෙයකට මුල පිරීමක් හෝ සිදු නොකර මෙම නාගරික මන්ත්‍රීවරයා අද වන විට, වීදි සරණ සුනඛයෙකු, වසර ගණනාවක් පුරාවට එම සුනඛයා වෙසෙන ප්‍රදේශයෙන් පන්නා දැමීමට උත්සාහ දැරීම මනුසත් භාවයට ද නිගා දෙන සංවේදජනක පුවතක් වන බව ඒත්තුකාල ප්‍රදේශවාසීහු පිරිසක් වැඩිදුරටත් පවසති.
මෙම තත්ත්වය තුල ඊයේ දිනයේ (28 /04/2026) මීගමුව මහා නගර සභාවේ පශු වෛද්‍ය ඒකකයේ පිරිසක් , කලූ නමැති මෙම සුනඛයාගේ භාරකාරත්වය ගෙන එම සුනඛයට ආහාර පාන ලබා දී රැකබලා ගන්නා කාන්තාවක් වෙසෙන සංචාරක නිකේතනයට ගොස්, කලූ ව පරීක්ෂා කර බලා ජල භීතිකා එන්නද ලබාදී තිබේ. එය යහපත් කාර්යයක් බව පැවසිය යුතුය. එමෙන්ම මෙම පශු වෛද්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙකු අවට නිවෙස් වෙත ද පැමිණ එම නිවෙස් වල අයගෙන් විමසා ඇත්තේ කලූ නැමැති මෙම සුනඛයාගෙන් ඔවුනට යම් අපහසුතාවයක් හෝ ගැටළුවක් පවතී ද යන්නයි. එහිදී එම පිරිස පවසා ඇත්තේ මෙම සුනඛයාගෙන් තමන්ට කිසිදු කරදරයක් අපහසුතාවයක් හෝ ගැටළුවක් සිදු නොවන බවයි. නිවාස හිමියන්ගෙන් මෙන්ම එම අවස්ථාවේ, පාසල් පටුමගේ ගමන් කළ සමහර පදිකයන්ගෙන් පවා මෙම පශු වෛද්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙකු කලූ පිළිබඳ විමසීම් කල බව එම ප්‍රදේශවාසීන් පවසති. එහෙත් ඒ කිසිදු අයෙකුගෙන් කලු පිළිබඳව එලෙස අසුභවාදී අදහසක් හෝ මතයක් ප්‍රකාශ නොවුණු නිසා නගර සභාවෙන් පැමිණි එම පශු වෛද්‍ය කණ්ඩායම එම ප්‍රදේශයෙන් නික්ම ගොස් තිබේ.
සියල්ල එතනින් යහපත් ලෙසින් අවසන් වූ බවට සිතුවත්, එය එලෙස සිදු නොවීය. අද දිනයේද (29/04/2026) මීගමුව මහා නගර සභාවේ ,පශු වෛද්‍ය අංශයේ එම නිලධාරීන් කණ්ඩායම කලු ව සොයා එම සුනඛයාව රැක බලාාගන්නා සංචාරක නිකේතනයේ කාන්තාව සොයා පැමිණ ඇති අතර එහිදී එම පිරිස පවසා ඇත්තේ, කලු සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් පවතින බවයි.
මේ පිළිබඳව ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, අදාළ නාගරික මන්ත්‍රීවරයා සම්බන්ධ වී මීගමුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය හරහා හෝ මීගමුව මහා නගර සභාවේ වෙනත් උසස් නිලධාරියකු හරහා හෝ මෙලෙස දිනපතා කලු ගැන සොයන්නට, කලූට පැමිණිලි ඇති බව පවසමින්, මෙලෙස එම ස්ථානයට මීගමුව මහා නගර සභාවේ පශු වෛද්‍ය අංශයේ නිලධාරීන් කැඳවමින් මෙලෙස වක්‍රාකාරව උත්සහ ගනු ලබන්නේ කලූ ව මෙම පාසල් පටුමගෙන් සැලසුම් සහගතව, පන්නා දැමීමට හෝ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට බවයි.
අප දන්නා පරිදි, අප දැක ඇති පරිදි, “කලූ ” නැමැති මෙම සුනඛයාගෙන් කිසිදු පුද්ගලයෙකුට කිසිදු අපහසුතාවයක් හෝ කරදරයක් මෙතෙක් සිදුවී නොමැත. කලූ යනු සුනඛයෙක් නිසා තවත් සුනඛයෙකු දකින විට බුරන ස්වභාවයක් පවතී. එය උප්පත්තියෙන්ම සුනඛයෙකු සතු ගති ස්වභාවයයි. එය කරදරයක් , අපහසුවක් හා ගැටළුවක් යැයි සිතා වීදි සරණ සුනඛයෙකුට, එම සුනඛයා වසර ගණනාවක් ජීවත් වූ, එම සුනඛයාට හුරුපුරුදු සිය වාස භූමිය අහිමි කිරීමට අනුකම්පා විරහිතව මෙලෙස සැලසුම් කිරීම හා ඒ සඳහා ක්‍රියාකාරී වීම කෙතරම් සාධාරණද ?.
විනිශ්චය ඔබ සතුය.
කෙසේ වුවත් ” කලූ” ගේ හෙට දවස තවමත් දැඩි අනාරක්ෂිත තත්ත්වයක සහ අවධානම් සහිත තත්ත්වයක පවතින බව පමනක් පැවසිය හැකිය












